Skip to main content

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ.
Source: Google images
ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම!

අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ...ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා. එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(  
පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි 

... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි:
  • 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද?
  • බිරිඳගේ වගකීම් කියල ජාති කොහේ හරි පොතක ලියල තියෙනවද?
  • එතකොට සැමියාගේ වගකීම් මොනවාද?
  • ගෑනු ළමයි පොඩි කාලේ ඉඳන් කවද හරි හොඳ බිරිඳක් වෙන්න පුරුදු කරවනව නම්, පිරිමි ළමයිනුත් කවද හරි හොඳ සැමියෙක් වෙන්න පුරුදු කරන්න ඕනේ නේද?
  • 'හොඳ සැමියෙක්' නැති තැන  'හොඳ බිරිඳක්' ඉන්න පුලුවන්ද?
මේ ගැන ළඟදී අපේ යාලුවෝ කට්ටිය අතරේ පොඩි සංවාදයක් ඇතිවුනා.

මගේ හොඳ ඉන්දියන් යාලුවෙක් ඉන්නවා - අපි එයාට K කියමු. ඉතින් එයා දැන් කසාද බඳින්න යි යන්නේ...අම්මලා හොයල දුන්නු උගත්, එයා වගේම IT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන ගෑනු ළමයෙක්. ගෑනු ළමයා ඉන්නේ ඉන්දියාවේ. යාලුවා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. 
බැඳලා ගෑනු ළමයත් මෙහෙ එක්කන් එන්න තමයි හදන්නේ...
දැන් මේ K ඉන්නවා නේද? එයාට මාර රහට උයන්න පුළුවන්. වඩේ, තෝසේ, පුලව්, බිරියානි වගේ එක එක රයිස් ජාති, ගුලාබ් ජමුන් වගේ එක එක රස කැවිලි,... මේ ඕනේ කෑමක් හදන්න දන්නවා.

ඉතින් දැන් K කියනවා එයාගේ ගෑනු ළමයා මගුල් ගෙදරට මාස දෙකකට කලින් රස්සාවෙන් අස්වෙනවලු! මොකටද කියන්නේ 'හොඳ බිරිඳක්' වෙන්න නම් ඉවුම් පිහුම්, ගේ දොර වැඩ ඔය ඔක්කොම හොඳට ඉගෙන ගන්න ඕනේ ලු. ඒවා පුරුදු වෙන්නලු ඔය දෙමස් පුහුණුව.
ඉතින් මම ඇහුවා එතකොට ඔයා 'හොඳ සැමියෙක්' වෙන්න පුරුදු පුහුණු කරන දේ මොනවාද සහ ඒකට ඔයාට මාස කීයක පුහුණුවක් ගන්නවද කියලා..
(සාධාරණ ප්‍රශ්නයක් නේද? බිරිඳ විතරක් හොඳ වෙලා මදිනේ හොඳ කසාදෙකට...නේද?)

මෙතෙන්දි තමයි K ගේ මුණ දෙල් වුනේ...එයා ටිකක් වෙලා ගොත ගගහ ඉඳල කියනවා එයාට ඒවා අදාළ නැතිලු...ගෙදර වැඩ ඉගෙන ගන්න එක ගෑනුන්ට අයිති දෙයක්ලු.
 K ගේ මේ ගෑනු ළමයට උයන්න බැහැ ලු. එයා මේ 'පුහුණුව' ගන්නෙත් ඒ හන්ද ලු. 

ඉතින් මම ඇහුවා ඔයාට හොඳට උයන්න පුළුවන් එකේ, එයා මෙහෙ ආවම එයාට උයන්න උදව් කරන්, එයාට ත් උගන්වන්න පුළුවන්නේ කියලා.
K කියන්නේ හොඳ කුක් කෙනෙක් නිසා මට හරි පුදුමයි එයා මේකට දුන්නු ප්‍රතිචාරේ!
උයන පිහන එක ගෑනුන්ගේ වැඩක් ලු! එයාට කුස්සියේ අඩිය තියන්නවත් අදහසක් නැතිලු!
මම ඇහුව එතකොට ඔයාගේ වයිෆ් මෙහෙදී රස්සාවක් කරන්නේ නැතිද? කියල.
නෑ රස්සාවක් කරාවිලු.

ඇයි වදේ එතකොට වයිෆ් රස්සාවක් කරන්නත් ඕනේ, ගෙදර වැඩ කරන්නත් ඕනේ...මේක මාර කෙලියක් නේ!

ඉතින් මම ඇහුවා හරි දැන් වයිෆ් රස්සාවට ගිහින් ඇවිත් ඩිනර් එක හදන වෙලේ ඔයා මොනාද කරන්නේ කියලා.
එයා ට එහෙම මුකුත් කරන්න අදහසක් නැතිලු. එයා රෙස්ට් කරන වලු! මොකද කියනවා නම් ගෙදර වැඩ කරන්න ඕනේ වයිෆ් ලු! සැමියා ඉන්නේ 'to keep everything together"(?) ලු (මේ එයාගේ වචන)

ඊ ගාවට K කියන්න ගත්තා එයාගේ සංස්කෘතියේ ගෑනු ඉන්න විදිහක් තියෙනවා. දැන් ඒ සංස්කෘතිය නැති වේ ගෙන යනවා. මේ මොඩන් කෙල්ලන් හරියට ඉන්දියන් විදිහට ඇඳුම අඳින්න දන්නෙත් නෑ. එයාගේ කෙල්ල ත් සාරිය අඳින්න දන්නේ නෑ කියලා. තව තිබිච්ච චෝදනා වක් තමයි එයාගේ අම්මා ගෙදර වැඩ ඔක්කොම කරා නම් එයාගේ වයිෆ්ට බැරි වෙන්නේ මොකද කියලා.
(මෙතෙන්දි එයාගේ අම්මා රස්සාවක් නොකරපු එක අදාළ නැතිලු!)
අනිත් එක, K දැනට හොඳ රස්සාවක් කරන නිසා වයිෆ් ට දැන් මෙහෙ රස්සාවක් පටන් අරන් K ගේ පඩි ගානට හම්බ කරන්න තව කල් යාවිලු. එතකොට K වැඩියෙන් හම්බු කරන නිසා වයිෆ් වැඩියෙන් ගෙදර වැඩ කරන්න ඕනෙලු. (?!)

ඔන්න මෙතෙන්දි තමයි වටේ හිටි කට්ටියත් කතාවට එකතු උනේ.

එතෙන්දි කෙනෙක් තමන්ගේ ජාතික ඇඳුම ඇඳීම හෝ නො ඇඳීමෙන් එයා තමන්ගේ සංස්කෘතියට කොච්චර ගරු කරනවාද කියල මනින එක කොයි තරම් දුර ට සාධාරණ ද කියලා එක්කෙනෙක් ඇහුවා.

විවාහයකදී  පඩිය හෝ කරන වැඩ ප්‍රමාණය මනින්න ඒවගේ දේවල් වලට 'numbers' දාන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියල කිව්වේ අපේ රටේ newly wedded සැමියෙක්.

හැබැයි අන්තිමට හොඳම අවවාදේ ලැබුනේ පකිස්තානු යාලුවාගෙන්. එයත් ලඟදි බඳින්න ඉන්නේ. යෝජනාවකට අනුව එයා එන්ගේජ් උනේ දැන් අවුරුදු දෙකකට වගේ උඩදී.
"K ඔයා ඔයාගේ අම්ම ගේ මිම්මෙන් වයිෆ් ව මනින්න එපා. මොකද ඒ ජෙනරේෂන් එකේ සිතුම් පැතුම් අපේ ජෙනරේෂන් එකට වඩා වෙනස්. අනිත් එක ඔයාගේ වයිෆ් මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියල හිතන් වැඩ කරන්නත් එපා. වැදගත් වෙන්නේ ඔයාලා දෙන්න ම දෙන්නට දෙන්න හැඩ ගැහෙන එක. මමත් මුලින් මගේ ෆියෝන්සේ ගැන ඔය විදිහට 'අපේ අම්ම කරා නම් මෙයාට බැරිද' කියන මෙන්ටලිටි එකෙන් හිතුවේ. ඒත් එහෙම ගියොත් එතන සන්තෝසෙන් ඉන්න බැරි වෙනවා...මොකද ඔයාගේ වයිෆ් කියන්නේ එක්කෙනෙක් - අම්මා කියන්නේ එක්කෙනෙක්. වයිෆ් ටත් එයාගෙම සිතුම් පැතුම් ආසාවන් තියෙනවා...ඉතින් කොයි දේ කරත් දෙන්න එකතු වෙලා කරන එක තමයි හොඳ"

දැන් ලෝකේ වෙනස් වෙලා. ගෙදර වැඩපල ඔක්කොම බිරිඳ කරලා සැමියා රැකියාවට ගියේ, බිරිඳ ගෙදර හිටියේ ඉස්සර. අනිත් එක තමන්ගේ බිරිඳට පොඩ්ඩක් උදවු කරන එක තමන්ගේ පිරිමි කමට කරන මදි කමක් කියල සමහර අය හිතන්නේ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ! මගේ සීයා හිටපු උප දිසාපති කෙනෙක්. ආච්චි අම්මා රැකියාවක් කරේ නැහැ. ඒත් මැරෙන කම්ම ආච්චි අම්මට පොල් ලෙලි ගහල, පොල් ගාල දෙන්න සීය පැකිලුනේ නැහැ!

කවුරු උනත් මනුස්ස ප්‍රාණියෝ හැටියට සලකල, හැමෝන්ටම ඒ ඒ අයට ආවේනික ආසාවන්, අමාරුකම්, දක්ෂ කම් තියෙනවා කියන එක තේරුම් අරන් වැඩ කරා නම් හැම දේම හොඳට සිද්ද වේවි.
 
හැම ගැහැනියක්ම එක වගේ නැහැ. හැම පිරිමියෙක්ම එක වගේ නැහැ. 

ඉතින් ඇයි අපි ගෑනු හැමෝම මෙන්න මෙහෙම වෙන්න ඕනේ හරි, පිරිමි හැමෝම මෙන්න මෙහෙම වෙන්න ඕනේ හරි කියන්නේ?  මම නම් හිතන්නේ මොනවා කරත් සැමියා බිරිඳ දෙන්නම ආදරෙන් එකමුතු වෙලා වැඩ කරොත් තමයි හොඳ පවුල් ජීවිතයක් තියෙන්නේ කියල :)

පලි : මම අච්චර ප්‍රශ්න ඉන්දියන් යාලුව ගෙන් ඇහුවත්, most obvious ප්‍රශ්නේ ඇහුවේ නෑ, අහන්න කටට ආවත්. ඒ මොනවා උනත් එයා මගේ යාලුවා නිසා. ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන් නේද?

Comments

  1. ඔය වගේ මෝඩයෝ ඉන්දියන්කාරයෝ අතර විතරක් නොවෙයි ලංකාවේත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කතන්දර නම් නෝනා එක්ක හොඳ සහයෝගෙන් වැඩ කරන හැටියක් පේනවා ලියන දේවලින් :)

      Delete
  2. මේක නම් කොච්චර කතා කලත් ඉවර කරන්ට බැරි මාතෘකාවක් නිරෝ. අම්මලා තමන්ගේ පුතාලාට හරි යමක් කියලා දෙනකල්, ඊලඟ පරම්පරාව හැදෙන්නෙත් නෑ.

    ඔය අහවල්ලු බණ කීවට එයාලත් ආසා උයලා දෙනවට. කවනවට. හුරතල් කරනවට. මේ පිරිමි කියන්නේ හරිම බබාලා ටිකක්නේ. තනියම ඉන්නකල් හැමදේම කරගන්ට පුලුවන්. බැන්ද හැටියේ ඒ ඔක්කොම අමතකයි.

    හොඳම වැඩේ තමා අපේ පුතාලට හරියට උගන්නන එක. කතාවෙන් නෙමේ. ක්‍රියාවෙන්...දෙය්යන්ගේ පිහිටයි පොඩි උන් ටිකට. හී හී...

    ReplyDelete
    Replies
    1. //අම්මලා තමන්ගේ පුතාලාට හරි යමක් කියලා දෙනකල්, ඊලඟ පරම්පරාව හැදෙන්නෙත් නෑ.//
      ඒක නම් ඇත්ත. සමහර අම්මලාම තමයි පුතාලව නරක කරන්නේ...

      //මේ පිරිමි කියන්නේ හරිම බබාලා ටිකක්නේ//
      හිකිස් ඔය චුට්ටක් හුරතල් උනාට නම් කමක් නෑ ... නේද? :D

      //හොඳම වැඩේ තමා අපේ පුතාලට හරියට උගන්නන එක.//
      ආ දැම්මම ප්ලෑන් කරලා වගේ :P

      Delete
  3. අදමයි මන් මේ පැත්තේ ආවේ..දිගටම එන්න බලාපොරොත්තු වෙනවා..අපිත් එක්කත් එකතු වෙන්න..ජය වේ..
    http://mrurealpage.blogspot.com/

    ReplyDelete
  4. "අල වගේද රොස් පරිප්පු" කිවුවලු..

    (ඔයාට නෙවෙයි කිවුවෙ ඕං ඈ.. වෙන එක්කෙනෙකුට..) :D

    ReplyDelete
    Replies
    1. සභාවේ තදින් සිනා!!!

      Delete
    2. ඒත් අනේ රොස් පරිප්පු වගේද බාගෙට තැම්බුණු අමු අල? :D

      Delete
  5. //
    කවුරු උනත් මනුස්ස ප්‍රාණියෝ හැටියට සලකල, හැමෝන්ටම ඒ ඒ අයට ආවේනික ආසාවන්, අමාරුකම්, දක්ෂ කම් තියෙනවා කියන එක තේරුම් අරන් වැඩ කරා නම් හැම දේම හොඳට සිද්ද වේවි. //

    මේක නම් වටිනා කතාවක් නිරෝ..

    ReplyDelete
    Replies
    1. ඒත් සමහරු හිතන්නේ ගෑනු කියන්නේ වෙනමම ජීවීන් කොට්ටාසයක් කියලද කොහෙද අනේ...:(

      Delete
  6. ඉස්සර කාලෙ ගෑණු අය වැඩ කලා වගේ දැන් ඉන්න ගෑණු ළමයින්ගෙන් වැඩ ගන්න පිරිමි හිතුවොත් නම් එයාලට ලේසි වෙන එකක් නැහැ.ඉන්දියාවෙ පිරිමි තරම් නැති උනත් ලංකාවේ පිරිමින්ගෙත් පොඩි බමුණු ගති තියෙන පිරිමි අය ඉන්නවා :)

    ReplyDelete
    Replies
    1. ඔව්...ඉස්සර ගෑනු අයට වෙන විකල්පයක් තිබුනේ නැහැනේ. උයන්නයි ළමයි හදන්නයි විතරයි...කැමති උනත් අකමැති උනත් ඔයිට එහා මුකුත් කරන්න බැහැ. අපේ හා වැඩට ආපු ගෑනු කෙනෙක් හිටියා අකුරු බැරි. කොල්ලොන්ට ලියුම් ලියල පැනල යාවි කියල තාත්ත අකුරු උගන්නල නැහැ :(

      Delete
  7. ඔයාගෙ යාලුව හොඳයි කටුගෙට යවන්ඩ! අපේ අම්මගෙ නං කටේම තියෙන්න කෙල්ලො කොල්ලො කියල නෑ හැමෝම ගෙදර වැඩපල කරන්න පුරුදු වෙන්න ඕන කියල. එහෙම කිය කිය ඉතින් ගෙදර වැඩ පුරුදු කෙරෙව්ව. ඒකෙ අගේ තේරුනේ පිට රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගියාම. අර අහපු නැති ප්‍රශ්නෙ මනමාලියෙක් වෙනුවට වැඩ කාරියෙක් ගන්නෙ නැත්තෙ ඇයි කියලද? :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ගෑනු පිරිමි කොයි කාටත් තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුළුවන් වෙන්න ඕනේ.

      ඔයා නම් හොඳ සැමියෙක් වෙන ලකුණු පෙනෙන්න තියෙනවා ඔන්න!!

      //අර අහපු නැති ප්‍රශ්නෙ මනමාලියෙක් වෙනුවට වැඩ කාරියෙක් ගන්නෙ නැත්තෙ ඇයි කියලද? :)//
      ටිකක් ළඟින් ගියා...මට අහන්න ඕනේ උනේ ඉතින් ඔච්චරම ඔයාට ඔය ගෑනු ළමයාගේ වැරදි පේනවනම් මොන මඟුලකට ද එයාව බඳින්නේ - ඔයා ඔය හොයන විදිහේ ගෙදර වැඩ ඔක්කොම කරන ගෑනු ළමයෙක් හොයන් බැඳගත්තා නම් ඉවරයිනේ කියල!

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන