Skip to main content

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි.

මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ.

ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ.

මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. 
හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන්න/නිවන්න, ගෙදරට හොරු ඇවිත් නම් පොලිසියට දැනුම් දෙන්න, තනියම ගෙදර ඉන්න කොට අසනීප උනොත් රෝහලට දැනුම් දෙන්න, ඔයාගේ සෞඛ්‍ය තත්වය බලන්න, මහත්තයා තනියම චොකලට් කෑවද බලන්න වගේ නොයෙකුත් දේවල්.
මේ වගේ තාක්ෂණයක් ගොඩක් වැදගත් වෙන්නේ තනියම ඉන්න වයසක කට්ටිය, ආබාධිත අය වගේ එදිනෙදා වැඩ කරගන්න පොඩි උදව්වක් ඕනෙ අයට. විශේෂයෙන්ම වැඩිවෙන වයෝවෘද්ධ වැඩිහිටි ප්‍රතිශතය ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රශ්නයක්. එයාලගේ තියෙන ලොකු බයක් තමයි තනියම ගෙදර ඉන්න කොට වැටුනොත්, අසනීප උනොත් කව්ද බලන්නේ කියන එක.

වැඩේ තියෙන්නේ තමන්ගේ ගෙදර මෙහෙම එකක් හයි කරන කොට කාට උනත් විජිකිච්චාවක් එනවා, මේක එකතු කරන දත්ත කොහාටද යන්න, කාටද මෙව්වා බලන්ඩ පුළුවන් කියලා. ඒ වගේම අපි ගොඩක් දෙනෙක්ට 'ගෙදර' කියන්නේ අපිට ඕනෑ විදියට නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් ගෙදර අපි කන බොන ඇවිදින ඒවා 'මොනිටර්' කරනව කියන කොට ගොඩක් දෙනෙක්ට පුද්ගලිකත්වය ගැන ලොකු ප්‍රශ්න එනවා.

අනිත් කාරණේ තමා, ගෙදරක හයි කරන්ඩ සුපිරි කෘතීම බුද්ධියක් හදන එක නෙමෙයි වැඩේ. වැඩි දෙනෙකුට දරන්න පුළුවන් මුදලකට ප්‍රයෝජනවත් සේවාවක් දෙන්ඩ පුළුවන් පද්ධතියක් හදන එක!

ඉතින් ඔන්න ඔය ආශ්‍රිතයෙන් තමයි මගේ පර්යෙෂණය තියෙන්නේ. 

අපි දැනට පලවෙනි අදියරේ හදල තියෙන පද්ධතිය 'ටෙස්ට්' කරන්ඩ නම් මේක ගෙවල් කිහිපයක හයි කරල අපේ 'කෘතීම බුද්ධිය' හරියට වැඩ කරනවද, සහ ඒකට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියල බලන්න ඕනෑ.

ඉතින් මේ  වගේ මිනිස්සු කණ්ඩායම් එකතු කරගෙන කරන පර්යේෂණ වලට විශ්ව විද්‍යාල වලින් අර කලින් කිව්ව 'ආචාර ධර්ම අවසරය' අරගන්නම වෙනවා. 

එහෙම අවසරයක් ගන්නේ පර්යේෂණයේ තුන් ගොල්ලකගේ ආරක්ෂාව සලකා යි. මේ තුන් ගොල්ල තමා:
 - පර්යේෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිස්සු 
-  පර්යේෂණය කරන කණ්ඩායම, සහ 
- අදාළ විශ්ව විද්‍යාලය.

මේ තුන් ගොල්ලටන්ටම මේ ව්‍යාපෘතියෙන් හානියක් වෙන්නේ නැතැයි කියලා (හෝ යම් අනතුරු වෙන්න ඉඩ තියෙනවා නම් ඒවා වලක්වා ගන්න හරි ඒවාට මුහුණ දෙන්න තියෙන සැලැස්ම) අපි පෙන්නුවොත් විතරයි අපිට මේ පර්යේෂණ කරන්ඩ විශ්ව විද්‍යාලය අවසර දෙන්නේ.

උදාහරනයකට අපේ මෘදුකාංග පද්ධතිය ගෙදරක සවි කරලා, හදිසියේ පද්ධතිය වැඩ කරන්නේ නැති උනොත් මොකද වෙන්නේ? ඒකෙන් දෙන පණිවිඩ නිසා ඒ ගෙදර මිනිස්සුන්ට මානසික ආතතියක් එන්න ඉඩ තියෙනවද? අපේ පද්ධතිය මොන වගේ දත්ත ද ගබඩා කරන්නේ, වගේ ගොඩක් දේවල් ගැන සවිස්තරාත්මකව ලියලා විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවට බාර දෙන්න ඕනේ.

හොඳ වෙලාවට මගේ පර්යේෂණය වර්ග වෙලා තිබුනේ 'අඩු අවදානම්' පර්යේෂණයක් විදියට (කුඩා ළමයින්, ගර්භනී කාන්තාවන් වගේ කොටස් එක්ක කරන පර්යේෂණ නම් කෙලින්ම 'වැඩි අවදානම්' වර්ගයට යන්නේ). 
ඒ නිසා සති 4 ඇතුළත පර්යේෂණය අනුමතිය ලැබුණා!

http://cdn.gelestatic.it/deejay/www/2016/03/enhanced-buzz-30651-1456442904-5.jpg

පිටු ගානක් දිගට ලියලා මේ අනුමැතිය ගන්ඩ සැහෙන්න මහන්සි වෙන්න උනා. මහන්සි උනත්, පර්යේෂණ සැලැස්මේ තිබුණු යම් අඩුපාඩු අපිට පෙනුනේ මේක ලියද්දි. ඉතින් අනුමැතිය ලැබුණු ඊයේ, අපේ විද්‍යාගාරයේ කණ්ඩායමට සෑහෙන්න සතුටු දිනයක් උනා!

කාලෙකින් හොඳට අව්ව පායපු දවසක් උනු ඊයේ, අපි ඒක සමරුවේ එළියේ තණ බිස්සේ වාඩි වෙලා පැඩ්ල් පොප් පෙට්ටියකට වැඩේ දෙමින්!!

Comments

  1. Hi

    That is great. Can you bit explain about your products. Im really keen on the home automation and smart homes

    ReplyDelete
  2. Congratz!

    නිරෝ බලලා තියේද Electric Dreams කියන ෆිල්ම් එක?

    ඔය submit කලාට පස්සෙ reports වල වැරැදි පේන එකනම් මටත් වෙන දෙයක්. එකපාරක් මම දිනයක් දාලා තිබුනා February-31st කියලත්. හොඳ වෙලාවට බලපු මනුස්සයාත් ඒක දැකලා තිබුනෙ නෑ. වැඩේ අනුමත වෙලා ආවා.. :-D

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රික් ඩ්‍රීම්ස් බලල තියෙනවා! ලංකාවේ ටීවී එකේ පෙන්නුවනේ පොඩි කාලේ.. අර වයින් බෝතලයක් කී බෝඩ් එකට හැලිලා පණ එන 'ස්මාර්ට් හෝම්' එක නේද? (අපේ කම්පියුටර් වලට ඇල්කොහොල් නෙමෙයි වතුර බින්දුවක් වැටුනත් තියෙන 'ස්මාර්ට්' එකත් යන එක වෙනම කතාවක්)

      Delete
  3. ඔය Smart Home project මෙහෙ ජපානෙත් හරියට කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි බොහොම ඉදිරියෙනුත් ඉන්නවා.
    අනිත් එක මෙහේ විශ්ව විද්‍යාල විතරක් නෙවෙයි, පුද්ගලික කොම්පැනි වලිනුත් (Sony, Kyocera, Honda) බොහොමයක් ප්‍රොජෙක්ට්ස් කරගෙන යනවා.
    ඒ අතරිනුත් Elder care සහ Energy management වගේ ඒවට මුල් තැනක් දීල තියෙනවා.
    සමහර ඒවා දැනටමත් මාකට් එකේ තියෙනවා.
    අර උඩ ඇනෝ කියනව වගේ, ඔයාගෙ ප්‍රොජෙක්ට් එක ගැන වැඩිදුර දැනගන්න කැමතියි.
    අපි නම් ඔයවගේ එකක් සෙලිබ්‍රේට් කරන්නෙ සකේ/බියර්/... වලින්

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට කියන්නම් :) ඔව් මේ දැන් ගොඩක් උනන්දුවක් තියෙන ක්ෂේත්‍රයක්.
      අපි අමද්‍යප නේ. ඇරත් වැඩ කරන තැන zero alcohol policy

      Delete
  4. සුබ පැතුම්.. ජයවේවා..

    ReplyDelete
  5. සුබ පැතුම්..............

    ReplyDelete
  6. එළියේ තණ බිස්සේ වාඩි වෙලා පැඩ්ල් පොප් පෙට්ටියකට වැඩේ දෙන වෙලාවේ ඇදුම කුණාටුවක් ආවා නම්?

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... දැන් නම් එළියට යන්නේ කාලගුණ වාර්තා බලල තමයි.

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command