Pages

Thursday, November 24, 2016

ගිගුරුම් සහිත ඇදුම කුණාටු!

සඳුදා මෙල්බන් නුවර අපිට රස්නේ දවසක්. දවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 යි. හැබැයි හවස් වෙනකොට කුණාටුවක් එනවා කියල කාලගුණෙන් කියලා තිබුනේ. 
එදා මම වැඩ ඉවර වෙලා යන ගමන් පුස්තකාලයට ගොඩ වැදුනේ කියවන්න නවකතාවක් ගන්න. එතකොට හවස 5.30 ට විතර. පොත අරන් වාහනේට නගින්න ඇවිදන් එනකොට දූවිලි හුළඟක් හමාගෙන ගියා සැරට. පොද වැහෙන්න අරං. ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ මම...ඇත්තටම කුණාටුව එන එකට සතුටෙන් හිටියේ. මොකද එළියේ හෝ ගාල වහින කොට ගෙයි සැප පුටුවක වාඩි වෙලා උණු තේ බිබී මම පුස්තකාලෙන් ගත්ත පොත කියවන්න යි මගේ ප්ලෑන් එක තිබුනේ.

ගෙදර ගිහින් රෑ 8 විතර වෙනකොට පොඩ්ඩක් උගුර රිදෙන ගතියක් දැනුණා. අවුලක් නෑ - සැරට පරිප්පු හොද්දක් එක්ක ඉඳි ආප්ප මුලකට වැඩේ දුන්නා. 
ප.ව 9:  වේලිච්ච කැස්සක් පටන් ගත්තා. ඊට සතියකට කලින් සෙම හැදිලා හොඳ උනා විතරයි. ආයෙත් මොන වදයක් ද මේ කැස්ස කියලා හිතෙන බැන බැන ටීවී බල බලා හිටියා. උගුර රිදෙන එකයි කැස්සයි එන්න එන්න වැඩිවෙනවා... 

ප.ව 10:  මහත්තයා මී පැණි, ඉඟුරු එක්ක තේ හදලා දුන්නා... ඒකටත් අඩුවක් නැහැ! 

ප.ව 10.30 :  නිදාගන්න ගියා. ඇල උනාම කැස්ස තවත් වැඩි වගේ. ඒ උනාට පස්සෙන්දා ට වැඩට යන්න තියෙන නිසා නිදා ගන්න ලොකු ගේමක් දුන්නා.

මධ්‍යම රාත්‍රිය: නින්ද යන්නෙම නැහැ. හුස්ම ඇදෙනවා. දැන් නම් මේ වීස් එකට ඇවිත් කියලා තේරුණා. පොඩි කාලේ හැදිලා තියෙන නිසා ලෙඩේ අඳුනනවා. ඒ උනාට අවුරුදු පහළොවකින් විතර හැදිලා නැති නිසා ගෙදර බෙහෙත් නැහැ. එහා පැත්තේ මහත්තයා නිදි. ඇහැරවන්න පව් නිසා හිමීට නැගිටලා ගිහින් වාඩි වෙලා හිටියා. 

පෙ.ව. 1: එක්ස්පෙරිමන්ට් කරලා හොයා ගත්තා වාඩි වෙලා ඉස්සරහට නැමිලා හිටියම කැස්ස අඩු වෙනවා කියලා.

පෙ.ව. 2: නැමිලා නෙමයි දැන් නම් ඔලුවෙන් හිටගත්තත් හරි යන්නේ නැහැ. එක දිගට කැස්ස. විනාඩියකට දෙතුන් පාරක් කහිනවා. වේලුණු කැස්ස නිසා උගුර රිදෙනවා. ඉස්සර වීස් එක හැදිලා තිබුනට මේ වගේ නවතින්නේ නැති කැස්සක් එක්ක නම් ජීවිතේට හැදිලා නෑ 

පෙ.ව 2.30: කහින සද්දෙට මහත්තය ඇහැරිලා. නැගිට්ටුවේ නැති එකට බැනුම් අහගත්තා. මේ වෙලාවේ දොස්තරලා ඉන්නේ කොහෙද කියලා එයා හොයන්න ගත්තා. මම ෆේස්බූක් ලොග් උනාම මෙල්බන් වල බර ගානකට ඇදුම හැදිලා කියලා දැක්කා.

පෙ.ව 3: මහත්තය ළඟම තියෙන පැය 24 ක්ලිනික් එකට කෝල් කරාම එතනින් කිව්වා හුස්ම ගන්න අමාරු වෙලා ලෙඩ්ඩු ගොඩක් ඇවිත් කියලා. ඒ නිසා අල්ලපු වටේ තියෙන ඔස්ටින් ඉස්පිරිතාලේ හදිසි අංශයට යන්න තීරණය කරා. ඕනි නෑ - දැන් හරියයි කිය කිය මම හිටියා (තව බැනුම් අසමින්)

පෙ.ව 3.30: ඉස්පිරිතාලේ හදිසි අංශයට ගියා. එතන මිනිස්සු ගොඩක්. හැමෝටම ඇදුම හැදිලා. ඒ වෙනකොට ඇදුම හැදිලා එතෙන්ට ලෙඩ්ඩු 200 විතර ආව කියලා නර්ස් කිව්වා.

පෙ.ව. 3.40: ටික වේලාවකින්ම මට වෙන්ටලින් පෆර් එකක් ගහපු ස්පේසර් එකක් ලැබුනා. එතන ඉඳන් 12 වතාවක් පෆ් කරගන්න කිව්වා. විනාඩි 20 කින් කතා කරන්නම් කිව්වා.

මට දුන්නෙත් මේ වගේ පෆර්/ස්පේසර් එකක් (img from Wikipedia)


පෙ.ව  4. 20: විනාඩි 20ක් කිව්වට දැන් තමා ආයෙත් මාව බැලුවේ. වෙන්ටලින් බලේට කැස්ස සැහෙන්න අඩු වෙලා. ඇඟිලි යන්තමට වෙවුලනවා - ඒක වෙන්ටලින් අතුරු ප්‍රතිපලයක් (වෙන්ටලින් මගේ පරණ යාලුවෙක්. එයාගේ හැසිරීම් රටා මට මතකයි). ඒ උනාට තවම පොඩ්ඩක් වීස් එක තියෙන නිසා මට ඇතුලෙන් ඉඳන් තවත් 24 පාරක් පෆර් එක ගන්න කිව්වා.

පෙ.ව 5.15: එහා ඇඳේ චීන වගේ ටිකක් වයසක් ගෑණු කෙනෙක්. එයාට ඉංග්‍රීසි බැහැ. අමාරු කියන්නේ දුවට. දුව ඉංග්‍රීසියෙන් දොස්තරට කියනවා. එයාට පෆර්/ස්පේසර් එපා කියලත්, ඒ වෙනුවට නෙබියුලයිස් කරන්න කියලත් කියනවා. නෙබියුලයිස් වලට වඩා පෆර්/ස්පේසර් හොඳයි කියලා දොස්තර කියනවා.

පෙ.ව 5.45: අපොයි මට නම් දැන් හොඳ ගණන් කියලා එක දොස්තර කෙනෙක් කියනවා ඇහුනා. අනේ මට කෝපි එකක් ගෙනත් දෙන්න කියලා තව දොස්තර කෙනෙක් කීවා.

පෙ. ව 6.15: දැන් 36 පාරක් පෆර් එක අරන්. මගේ දොස්තර ඇවිත් ප්‍රෙෂර්, හාට් බීට්, ඔක්සිජන් අනම් මනම් ටික බැලුවා. ඔක්සිජන් 100% දොස්තරට හරි සතුටුයි. දැන් ඔයා යන්න කියලා මට කියලා මහත්තයට කීවා ඔයත් ගිහින් නිදාගන්න කියල. මුකුත් ප්‍රශ්න අහන්ඩ තියෙනවද කියලා මගෙන් ඇහුවා. මම ඇහුවා මේ පෆර්/ස්පෙසර් එක මට ගෙදර ගෙනියන්නද කියලා. දොස්තර හිනා වෙලා නැතුව ඉතින් කිව්වා.

පෙ.ව 6. 25: ගෙදර. වැඩට යන්නත් ඕනේ ලොක්කෙක් එනවා කිව්ව නිසා. එයා එන්නේ හවස 3.30 ට. මම එද්දී පරක්කු වෙනවා කියලා ඔෆිස් එකට මැසේජ් එකක් දාල මම නිදා ගන්න ගියා.

මේ නොවැම්බර් 21 ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති උනු 'thunderstorm asthma' හෙවත් 'අකුණු කුණාටු' ඇදුම රෝගය නිසා මිනිස්සු දාස් ගානක් අසනීප උනා. මේ වෙනකොට 4 දෙනෙක් මිය ගිහින්. ගිලන් රථ වලට තිබුණු ඉල්ලුම නිසා වික්ටෝරියා ගිලන් රථ සේවයට සඳුදා රාත්‍රියේ ගිලන් රථ මදි වුනු බවයි කියන්නේ. සමහර රජයේ රෝහල් වලට ආ ඇදුම රෝගීන් නිසා වෙන්ටලින්/ස්පේසර් බෙදා දෙන්න මදි වෙලාත් තියෙනවා.

මෙතෙන්දි වෙන්නේ, තෘණ පරාග පෙනහලු තුලට යෑම නිසා ඇතිවෙන අසාත්මිකතාවය නිසා හැදෙන ඇදුම රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් තෘණ පරාග ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න ලොකු වැඩියි. ඒවා නාස් කුහරයේ රැඳෙනවා. නමුත් අකුණු කුණාටු ඇතිවෙන කොට, පරිසරයේ තියෙන තෘණ පරාග තෙතමනය උරාගෙන කුඩා කැබලි වලට පිපිරී යනවා. මෙන්න මේවාට  ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න පුළුවන්. ඉතින් ඒ පරාග කොටස් අති විශාල ගණනක් මිනිස්සු දාස් ගානකගේ පෙනහලු තුලට ගිය නිසා තමයි එදා එක විට මහා ඇදුම වසංගතයක් ඇති උනේ (ඇදුම බෝ වෙන්නේ නැහැ).


කොහොම නමුත් මම ඉගෙන ගත්ත පාඩම තමයි පරාග ගහණ වසන්ත/ගිම්හාන කාලෙට වෙන්ටලින්(ඇදුම බෙහෙත්) ළඟ තියා ගන්න එක නුවණට හුරුයි කියන එක.

Friday, November 4, 2016

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි.

මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ.

ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ.

මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. 
හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන්න/නිවන්න, ගෙදරට හොරු ඇවිත් නම් පොලිසියට දැනුම් දෙන්න, තනියම ගෙදර ඉන්න කොට අසනීප උනොත් රෝහලට දැනුම් දෙන්න, ඔයාගේ සෞඛ්‍ය තත්වය බලන්න, මහත්තයා තනියම චොකලට් කෑවද බලන්න වගේ නොයෙකුත් දේවල්.
මේ වගේ තාක්ෂණයක් ගොඩක් වැදගත් වෙන්නේ තනියම ඉන්න වයසක කට්ටිය, ආබාධිත අය වගේ එදිනෙදා වැඩ කරගන්න පොඩි උදව්වක් ඕනෙ අයට. විශේෂයෙන්ම වැඩිවෙන වයෝවෘද්ධ වැඩිහිටි ප්‍රතිශතය ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රශ්නයක්. එයාලගේ තියෙන ලොකු බයක් තමයි තනියම ගෙදර ඉන්න කොට වැටුනොත්, අසනීප උනොත් කව්ද බලන්නේ කියන එක.

වැඩේ තියෙන්නේ තමන්ගේ ගෙදර මෙහෙම එකක් හයි කරන කොට කාට උනත් විජිකිච්චාවක් එනවා, මේක එකතු කරන දත්ත කොහාටද යන්න, කාටද මෙව්වා බලන්ඩ පුළුවන් කියලා. ඒ වගේම අපි ගොඩක් දෙනෙක්ට 'ගෙදර' කියන්නේ අපිට ඕනෑ විදියට නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් ගෙදර අපි කන බොන ඇවිදින ඒවා 'මොනිටර්' කරනව කියන කොට ගොඩක් දෙනෙක්ට පුද්ගලිකත්වය ගැන ලොකු ප්‍රශ්න එනවා.

අනිත් කාරණේ තමා, ගෙදරක හයි කරන්ඩ සුපිරි කෘතීම බුද්ධියක් හදන එක නෙමෙයි වැඩේ. වැඩි දෙනෙකුට දරන්න පුළුවන් මුදලකට ප්‍රයෝජනවත් සේවාවක් දෙන්ඩ පුළුවන් පද්ධතියක් හදන එක!

ඉතින් ඔන්න ඔය ආශ්‍රිතයෙන් තමයි මගේ පර්යෙෂණය තියෙන්නේ. 

අපි දැනට පලවෙනි අදියරේ හදල තියෙන පද්ධතිය 'ටෙස්ට්' කරන්ඩ නම් මේක ගෙවල් කිහිපයක හයි කරල අපේ 'කෘතීම බුද්ධිය' හරියට වැඩ කරනවද, සහ ඒකට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියල බලන්න ඕනෑ.

ඉතින් මේ  වගේ මිනිස්සු කණ්ඩායම් එකතු කරගෙන කරන පර්යේෂණ වලට විශ්ව විද්‍යාල වලින් අර කලින් කිව්ව 'ආචාර ධර්ම අවසරය' අරගන්නම වෙනවා. 

එහෙම අවසරයක් ගන්නේ පර්යේෂණයේ තුන් ගොල්ලකගේ ආරක්ෂාව සලකා යි. මේ තුන් ගොල්ල තමා:
 - පර්යේෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිස්සු 
-  පර්යේෂණය කරන කණ්ඩායම, සහ 
- අදාළ විශ්ව විද්‍යාලය.

මේ තුන් ගොල්ලටන්ටම මේ ව්‍යාපෘතියෙන් හානියක් වෙන්නේ නැතැයි කියලා (හෝ යම් අනතුරු වෙන්න ඉඩ තියෙනවා නම් ඒවා වලක්වා ගන්න හරි ඒවාට මුහුණ දෙන්න තියෙන සැලැස්ම) අපි පෙන්නුවොත් විතරයි අපිට මේ පර්යේෂණ කරන්ඩ විශ්ව විද්‍යාලය අවසර දෙන්නේ.

උදාහරනයකට අපේ මෘදුකාංග පද්ධතිය ගෙදරක සවි කරලා, හදිසියේ පද්ධතිය වැඩ කරන්නේ නැති උනොත් මොකද වෙන්නේ? ඒකෙන් දෙන පණිවිඩ නිසා ඒ ගෙදර මිනිස්සුන්ට මානසික ආතතියක් එන්න ඉඩ තියෙනවද? අපේ පද්ධතිය මොන වගේ දත්ත ද ගබඩා කරන්නේ, වගේ ගොඩක් දේවල් ගැන සවිස්තරාත්මකව ලියලා විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවට බාර දෙන්න ඕනේ.

හොඳ වෙලාවට මගේ පර්යේෂණය වර්ග වෙලා තිබුනේ 'අඩු අවදානම්' පර්යේෂණයක් විදියට (කුඩා ළමයින්, ගර්භනී කාන්තාවන් වගේ කොටස් එක්ක කරන පර්යේෂණ නම් කෙලින්ම 'වැඩි අවදානම්' වර්ගයට යන්නේ). 
ඒ නිසා සති 4 ඇතුළත පර්යේෂණය අනුමතිය ලැබුණා!

http://cdn.gelestatic.it/deejay/www/2016/03/enhanced-buzz-30651-1456442904-5.jpg

පිටු ගානක් දිගට ලියලා මේ අනුමැතිය ගන්ඩ සැහෙන්න මහන්සි වෙන්න උනා. මහන්සි උනත්, පර්යේෂණ සැලැස්මේ තිබුණු යම් අඩුපාඩු අපිට පෙනුනේ මේක ලියද්දි. ඉතින් අනුමැතිය ලැබුණු ඊයේ, අපේ විද්‍යාගාරයේ කණ්ඩායමට සෑහෙන්න සතුටු දිනයක් උනා!

කාලෙකින් හොඳට අව්ව පායපු දවසක් උනු ඊයේ, අපි ඒක සමරුවේ එළියේ තණ බිස්සේ වාඩි වෙලා පැඩ්ල් පොප් පෙට්ටියකට වැඩේ දෙමින්!!

Sunday, September 11, 2016

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා.
හරියට මේ වගේ .... (img commons.wikimedia.org)
තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය.

පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය.

ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය.

අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත.
ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය.
ඌ ඇවිල්ලා පොසම් සතෙකි.

සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය.
එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු කරගෙන සිටියෙමු.
ඌ උගේ පාඩුවේ පඩිය උඩට වී ජීවත් උනේය.

ෆ්ලැට් එකට එන මිතුරි මිතුරියන් අතර ඌ ඉතා ජනප්‍රිය උනු අතර කෙල්ලන් තුන්දෙනෙක් ගේ නාන කාමරයක ජනේලේ ළඟ සිටින නිසා ඔවුන් ඌ ට නම දැම්මේ 'Pervert පොසම්' කියලා ය.

මෙහිදී මිතුරියන් ඌ දැක්ක විට 'අනේ පව්/ ඌ කන්නේ මොනවාද/ ඌ නිදිද' වැනි ප්‍රතිචාර ලබා දුන් නමුත් මිතුරන් ඌ ට දැක්වුයේ දැඩි අකමැත්තකි.
මේ ගැන අප තිදෙනා සිනා පහල කල විට එක මිතුරෙක් පැවසුවේ
"easy for you to laugh. you have nothing to lose" කියා ය.
ඔහු නාන කාමරයේ සිටින විට පොසම් fly screen එක ගලවාගෙන ඇවිත් ඔහුගෙන්(අපට නැති ඔහුට ඇති) යමක් ගලවා ගෙන යතැයි ඔහු බියවූ බව අපට පැහැදිලි විය.

එය කෙසේවෙතත් ඔහුගේ බිය අනියත බියක්ම නොවන බව වැටහුනේ මාස කිහිපයකිනි.

ඒ සෙනසුරාදා දිනකි. අපි ෆ්ලැට් එක පිරිසිඳු කරන වැඩ කරන්නේ සෙනසුරාදා/ඉරිදාය. එදා නාන කාමරේ පිරිසිඳු කරන්න මගේ වාරය විය.

අහෝ ඛේදයකි! නාන කාමරයකට ඇතුළු වුනු වහාම මා දුටුවේ විප්‍රකාර දසුනකි!

මෙතෙක් අපේ අනුකම්පාව දිනාගෙන ඔහේ පාඩුවේ සිටි පොසම් අපේ නාන කාමරේ භෞමික අඛණ්ඩතාවය ද මොකද්ද එකට අභියෝගකරමින් ඌ ත් අපිත් වෙන්කරනු ලැබ fly-screen එක කඩා දමමින් සිටියේය.

fly-screen යේ කැඩුණු කෑලි වලින් ටයිල් පොලව අපිරිසිඳු වී තිබුණි. ඊට වඩා වැඩේ හිස ගිනිගත් ලෙසින් fly-screen ය පහුරු ගාන අපේ pervert possum ය.

අතේ තිබුණු කොසු/මොප්/ ආදී දේ එතනම දමා මම අනිත් පැත්තට නාන කාමරෙන් පැනගත්තේ හූ තබමිනි ඉතා සංයමයෙන් හා දැහැමින් සෙමින් ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි නාන කාමරේ දොර වසා දමනු ලැබු අතර ෆ්ලැට් සාමාජික මීටිමක් කැඳවුණු ලැබීය. එහි ත්‍රි පුද්ගල කමිටුවේ තීරණය අනුව Residential Adviser හෙවත් RA ට දුරකථන ඇමතුමක් ගනු ලැබීය.
RA යනු සෑමදෙනා ගෙන්ම බැනුම් අසන, සැමදෙනාටම බනින චාටර් ජොබ් එකකි. ඔවුන්ව විශ්ව විද්‍යාලයෙන් පත් කරනු ලබන්නේ ෆ්ලැට් වල රෑ තිස්සේ යන බජව් නැවැත්වීම, පොසම් ලා ගෙන් ෆ්ලැට් ආරක්ෂා කරගැනීම වැනි බරපතල කාර්ය සඳහාය.

කෙසේ හෝ අන්තිමේ දී RA ගේ මැදිහත් වීමෙන් handyman කෙනෙක් කැඳවනු ලැබීය. ඔහු පොසම් fly screen එක සම්පුර්ණයෙන්ම කඩා අපේ රජ දහන ආක්‍රමණය කරන්නට ඔන්න මෙන්න තිබියදී කොසු මිටක් අධාරයෙන් පොසම්ව භය කර පලවා හරිනු ලැබිණි. කැඩුණු fly screen එකද ගලවා දමා අලුත් එකක් සවි කරනු ලැබුවේය.

"අනේ පොසම් දැන් කොහේ යාවිද?" RA ගෙන් අපි ඇසුවෙමු.

මෙතෙක් වෙලා පොසම් ගෙන් අප බේරගන්නයි කියමින් නාහෙන් අන්දමින් සිටි කෙල්ලන් තිදෙනා දැන් පොසම් ගැන සිත් උණු වී සිටී! RA අප දෙස බැලුවේ මොලය නරක් වෙලා දැයි අහන්නට වගේය. (හොඳ වෙලාවට එයා එහෙම ඇහුවේ නැතිය)

ඌ යළි කරදර නොකරන්නට එතැන සැර සුවඳ විලවුන් ඉහින්න යයි අපට උපදෙස් ලැබිණි. පොසම් ලා පාර හොයාගන්නට ගඳ සුවඳ යොදාගන්නා බවත්, උගේ ගඳ යට කරන්නට විලවුන් දැමූ විට ඌ ට එතන හඳුනාගන්නට බැරි වෙන බවද handyman පැවසීය. 

කෙසේ හෝ අන්තිමට එදායින් පසු අපේ ෆ්ලැට් එකේ special attraction එක වූ pervert possum අපගෙන් වෙන් වුනි. 
ඌ වෙනත් කෙල්ලන් තිදෙනෙකු ගේ නාන කාමරයක් සොයා ගන්නට ඇත.


ප.ලි 
මාස ගානක් සහජීවයනයෙන් සිට ඌ එක වරම එසේ අපේ නිවහන තුලට කඩා වැදීමට උත්සාහ කරේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. පසුව මට අවබෝධ වුනේ අනියම් ආකාරයෙන් එයට මාද සම්බන්ධ බවය. ඒ ගැන පසුව ලියමි. 

Thursday, November 5, 2015

කිරි ලුණු රසයිද?

මෙල්බන් තුරඟ තරඟ නිසා දිග සති අන්තයක් ලැබුනා. අපි ඒ නිවාඩුවට වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසර පැත්තකට ගියා. ඒ පැත්තේ තියෙනවා විල්සන්ස් ප්‍රොම් කියන රක්ෂිත වනෝද්‍යානය. නැවතුනේ කිරි ගොවිපොළක. අක්කර 1140 ක්.

ඒකෙ අයිතිකාරි හරිම ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි, අවුරුදු 60 ක විතර ඕස්ට්‍රේලියානු ගැමි කාන්තාවක්. 

ඇය කිව්වේ ඈ ඒ වගේ ගොවිපොළකම ඉපදිලා ජීවිතේම පිටිසර ගත කල බවත්, නගරෙට යන්න කිසි කැමැත්තක් නැති බවත්. එයා ට දූ ල තුනයි එක පුතයි. ළමයි හතර දෙනාටම ඒ වගේ විසාල ගොවි පොළවල් හතරක්. ඒ හැම එකක්ම බැංකු ණය අරං බිංදුවෙන් පටන් ගත් ඒවා. ඇගේ ගොවිපොලත් සැමියා එක්ක පටන් අරන් තියෙන්නේ අක්කර 100 න්...

එයාම ඉදිරිපත් වෙලා අපිව එයාගේ වත්තෙයි ගොවිපොලෙයි එක්කන් ගියා. 
වත්තේ ඇවිදින ගමන් පලතුරු කඩ කඩා කන්නට දුන්නා. ගෙදර එනකොට කලින්දා දාපු බිත්තරත්, එවෙලේම කපපු එළවලුත්, එයා ගේ 'හෝම් මේඩ්' රුබාබ් ෂැම්පේන් බෝතලේකුත් තෑගී දුන්නා. ඇත්තටම තව මොනවා හරි ඕනෙද කියලත් පෙරැත්ත කරමින් ඇහුවත්, ඇයගේ ත්‍යාගශීලී ගුණය exploit කරන්න අපිට හිතුනේ නැහැ.

මේ හැම දේකින්ම මට පෙනුනේ ඈ මහන්සි වෙලා වැඩ කරන, කාරුණික කාන්තාවක් විදියට.

ඒ උනත්... කිරි ගොවිපොළේ එළදෙනුන් ගැන නම් ඇහුවේ දුක හිතෙන කතාවක්. 
අපි බලන් හිටියා එළදෙනුන් පේලියට ඇවිත් කිරි පොම්ප තියෙන කැරකෙන වේදිකාවට නගින හැටි.


උන්ගේ තන බුරුල්ල අසාමාන්‍ය විදියට ලොකුයි. අයිතිකාර කාන්තාවම කිව්වේ ඒ කිරි එළදෙනුන් උපරිම කාර්යක්ෂමතාවෙන් කිරි දෙන්නටම හෝමෝන, බෙහෙත්, එහෙම දීල හදල තියෙන බව. අච්චර අසාමාන්‍ය ලොකු තන බුරුල්ලක් තියෙන්නේ ඒ නිසාලු. ඉතින් එහෙම නිසා උන්ගේ ඇඟේ 'බැලන්ස්' එක නැති වෙලා උන් ඉක්මනට දිරාපත් වෙලා මැරෙනවා ලු.

ඊ ළඟට ඇඟ හිරි වැටෙන කතාව උන්ට ඉපදෙන වහු පැටව් ගැන.
පැටියා පිරිමි නම් ඌ ව තියන් ඉන්නේ නෑ ලු...ඒ මොකද උන්ගෙන් ගොවිපොළට ලාභ ලැබෙන්නේ නැති නිසා. ඉතින් උන්ව ඉක්මනටම මසට මරණ බවයි  දැනගන්නට ලැබුනේ.

ගැහැණු වහු පැටවූ ගාලක් ළඟට ත් අපි ගියා. සති 1-2 ඉඳන් පැටවූ එතන හිටියා. උන්ට අම්මා ගෙන් කිරි උරා බොන්න දෙන්නේ නැහැ. උන්ගේ කූඩු වල බෝතල් හයි කරලා තියෙනවා. ඒවාන් තමයි උන් කිරි බොන්නේ.


අයිතිකාර කාන්තාව මෙහෙම කිව්වා :
"මෙයාල තව ටිකක් ලොකු උනාම අපි මුන්ව තණ පිට්ටනියට නිදහස් කරනවා. එදාට මෙයාල දූවන හැටි බලන්න ඕනේ! අම්මෝ හරී වේගෙන් එතකොට තණ පිට්ටනියට දුවන්නේ"

මේ අසරණ සත්තු ජීවිත කාලෙම හිත් පිත් නැති 'කිරි මැෂින්' ටිකක් වෙලා කිරි දීලා දීලා මැරිලා යනවා. 

අපි මේ රස කර කර බොන්නේ නැවුම් කිරි ද? කඳුළු ද? කියලා මට හිතුනා.


ප ලි:
තුරඟ තරඟ වලින් පස්සේ හැමදාම මිය ගිය අසුන් ගැන දැන ගන්නට ලැබෙනවා. මේ සැරෙත් එහෙම වෙලා කියලා දැක්කා. මිනිස්සුන්ගේ ඕනැ එපාකම් වලට කතා කරන්න බැරි සත්තු මැරෙනවා. කොහෙත් තැලෙන්නේ දුබලයා තමයි. 


ප ප ලි: 
මේ සමහර ගැහැණු වහු පැටවූ චීනේට විකුණන බවත් කිව්වා. මතක් උනේ අංකල් ටොම්ස් කැබින් පොත. ඒකෙ ඉන්න සමහර වහල්ලු ත් හොඳට කන්න දීල හොඳ ගානකට විකුනනවා. සමහර වෙලාවට පවුලේ තාත්තා එක්කෙනෙක්ට, අම්මා තව එක්කෙනෙක්ට, ළමයා තවත් එක්කෙනෙක්ට විකුනනවා.

Wednesday, October 21, 2015

වසන්ත අකරතැබ්බ - මල් වලට වෙඩි තියමු!

මේ දවස්වල අපි ඉන්න පැත්තට වසන්තය ලබලා.
වසන්ත කාලෙට මල් පිපිලා ගස් වල දළු දාල එනවා කියල හැමෝම දන්නවනේ. ලංකාවේ සමහර කට්ටිය හිතන් ඉන්නේ මෙල්බන් කිව්වාම කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් මෙහෙ ගස් වැල්, වන සතුන් ගෙන් පිරිලා.


මේ අතීතයේ හෙළයන් විසින් මෙල්බන් හි ගොඩනැගු සිරිසඟබෝ ප්‍රතිමාවක් ... නොවේ.
 
ගස් වැල්, උද්‍යාන තියෙන එක හරිම හොඳ දෙයක් උනාට, පරාග අසාත්මිකතා තියෙන අන්ත අසරණ කට්ටියට නම් වසන්ත කාලෙට ඒ ගස් වැල්, උයන් වලින් හරිම අපලයි.
වසන්තයේ තණකොළ කපන සුවඳ එනකොටම පරාග අසාත්මිකතා කාරයන්ට වැඩේ සෙට් වෙනවා.

හචිස් හචිස්!
ඇස් රතු වෙනවා. කඳුළු පිරෙනවා.
උගුර රිදෙන්න ගන්නවා.
දවස් දෙකකින් ටිෂු පෙට්ටිය ඉවරයි. ඒ මදිවට උගුර රිදෙන නිසා කතා කරන්න බෑ. ඇඟ ත් රිදෙනවා.

අනේ පව් අපි :(

තණකොළ කපන සුවඳට සමහරු ආසයි.
මමත් ආස සුවඳ ජාති තියෙනවා. ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ පිච්ච මල් සුවඳ.
මම කලින් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් යා කරන දෙවෙනි මහලේ පාලමක් අතරින් යනකොට පිච්ච මල් සුවඳින් නහය පිරෙනවා. ඒ පාලම දෙපැත්තෙන් ආරුක්කු හදලා උසට වැවුණු පිච්ච මල් වැල් නිසයි. මල් පිපෙන වසන්ත කාලෙට එතැන සුරංගනා ලෝකයක් වගේ.

පිච්ච මල් ගැන කියන්න ගිහින් ට්‍රැක් එක පැන්නා නේ.

Won't you come into the garden? I would like my roses to see you
තණකොළ විතරක් නෙමෙයි පිච්ච වගේ මල් ගස් වලිනුත් පරාග හැදිලා පරිසරයට නිකුත් වෙනවා. පරිසරයේ උණුසුම වැඩි වෙන කාලෙට වැඩි වැඩියෙන් පරාග නිෂ්පාදනය වෙනවලු. පහුගිය දවස් වල මම මෙල්බන් වල අත්වින්ද රස්නේම ඔක්තෝම්බර් දින කිහිපයේදී මගේ හචිස් හචිස් එක උග්‍ර උන නිසා මේ කතාව ඇත්ත කියල හිතන්න පුළුවන්.

මේ 2011 වසන්තයේ කැන්බරා වල ෆ්ලොරියාඩ් මල් ප්‍රදර්ශනයේ පින්තුරයක් 
මේ පරාග අසාත්මිකතා වලට ඉතින් බෙහෙත් නැහැ. පාලනයක් තමයි කරන්න පුළුවන්. වසන්තය ලබන කොට මෙහෙ ෆාමසි වල මේවට ඇන්ටි හිස්ටමින් පෙති, නහයට ගහන ස්ප්‍රේ වගේ දේවල් සුලබව දකින්න පුළුවන්.
හොඳම දේ පරාග වාරය පටන් ගන්න පොඩ්ඩකට කලින් ඉඳන්ම මේ පෙති/ස්ප්‍රේ පාවිච්චි කරන එක ලු. එතකොට හැදෙන්නෙම නැහැ ලු. හැබැයි ඉතින් පරාග වාරේ ඉවර වෙනකම් ම දිනපතා ඒවා ගන්න ඕනේ. ඒ කියන්නේ සැප්තැම්බර් අග ඉඳන් දෙසැම්බර් මුල වගේ වෙනකම්.

මේ අසාත්මිකතා හැමෝන්ටම හැදෙන්නේ නැහැ. බෝවෙන්නෙත් නැහැ. පරම්පරාවෙන් යන එකක් වෙන්න පුළුවන් කියල අහල තියෙනවා.
මේ මගේ විෂය නෙමෙයි නිසා මට මේ ගැන තියෙන්නේ එහෙන් මෙහෙන් කියවලා අහුලා ගත්තු දැනුමක්. ඒ නිසයි මම 'ලු', 'අහල තියෙනවා' කියල ලියන්නේ. කොහොමත් නොදන්න දේවල් දන්නවා වගේ කියන්න මම කැමතිම නැහැ! 

පරාග කියන්නේ ස්වභාවික පරිසරයේ තියෙන දෙයක්. අද ඊයේ පහල උණු දෙයක් නෙමෙයිනේ. 
එතකොට මිනිස්සු පරිසරය එක්ක ගනුදෙනු කරන්න අරන් ගොඩක් කල්. ඉතින් මම මේ කල්පනා කරන්නේ ඇයි මෙහෙම සමහර මිනිස් සිරුරු හැඩ ගැහිලා තියෙන්නේ කියලා. මොකද්ද මේ 'පරාග අසාත්මිකතා' වල අරමුණ?
Source: tumbler

පැහැදිලිවම 'බග්' එකක්!

Wednesday, September 30, 2015

සහානුයාතයෙන් අනන්තය වෙත නොයමු!

සහානුයාත ක්‍රමය මුලින්ම මට හමුවෙන්නේ උසස් පෙළ ශුද්ධ ගණිතයේදී.
කොහොමත් මට ව්‍යවහාරික ගණිතය ගැන තිබුණු ඇල්මැරුණු ස්වභාවය ට වඩා උනන්දුවක් ශුද්ධ ගණිතය ගැන තිබුණා.

මම සහානුයාත ක්‍රමය ට ගැටළුවක් විසඳනු බලා සිටි ගුරුතුමී 'ඔයාට හරියන්නේ ප්‍රෝග්‍රැමිං' යැයි පැවසුවත්, ඒ වෙන විට නම් පරිගණක ක්‍රමලේකනයේ සහ සහානුයාතයේ  සම්බන්ධය දැන සිටියේ නැහැ.

සහානුයාත ය නැත්නම් recursion පැහැදිලි කර ගන්න සරල උදාහරණ කිහිපයක් කිව්වොත්:

1) කතන්දරේ - එකමත් එක රටක පොඩි බබෙක්ට නින්ද යන්නේ නැති නිසා එයා නිදි කරවන්න අම්මා ගෙඹි පැටියගේ කතාව කිව්වා.
      ....එකමත් එක රටක ගෙඹි පැටියෙක් හිටියා. ගෙඹි පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න ගෙඹි අම්මා වලස් පැටියගේ කතාව කිව්වා.
            ... එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. වලස් පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න වලස් අම්මා මුගටි පැටියගේ කතාව කිව්වා.
                  ...මුගටි පැටියට නින්ද ගියා.
       ....ඉතින් වලස් පැටියට නින්ද ගියා.
     .....ඉතින් ගෙඹි පැටියට නින්ද ගියා.
ඉතින් බබාට නින්ද ගියා.

2 ) රුසියන් බෝනික්කෝ සෙට් -  මේ පහතින් තියෙන පින්තුරේ තියෙන්නේ රුසියන් බෝනික්කෝ සෙට් එකේ එකක් ඇතුලේ එකක් බෝනික්කෝ තියෙනවා.
පලවෙනි බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
       ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
            ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
                ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.....
ඔහොම ගිහින් බෝනික්කෝ 'ස්තර' කීපයක් ගිහින් අතට අහු වෙන නොවෙන ගානේ චූටි ම චූටි බෝනික්කෙක්ගෙන් ඉවර වෙනවා.



රුසියන් බෝනික්කෝ

ඔය උඩ උදාහරණ දෙකේ තියෙන pattern එක ගැන හිතුවොත් තේරේවි සහානුයාත ක්‍රමය කියන්නේ යළි යළිත් ස්වයං අනුරූපීව එකම ක්‍රියාවලියක් (සුත්‍රයක්) සිදු කිරීම කියලා.

මේ 'ස්වයං අනුරූපී' සිංහල වචනය කොච්චර නිවැරදිද කියල දන්නේ නැහැ. අදාළ ඉංග්‍රීසි වචනය self-similarity.


Self similarity

මේක පරිගණක  ක්‍රමලේඛනයේ ගොඩක් ගැටළු විසඳන්න පාවිච්චි කරන්න පුළුවන්.

සහානුයාතයකට තියෙන්න ඕනැ මේ නීති දෙක :
1) පාදම් අවස්තාව : base case එක කියල ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නවතින කොන්දේසියක් නැත්නම් සීමා වක්. මේ කොන්දේසිය නැති උනොත් අනන්ත වාරයක් ක්‍රියාවලිය සිදු වෙමින් පවතීවි. උදාහරනෙකට අර උඩ තියෙන රුසියානු බෝනික්කොන්ගේ පාදම් අවස්තාව තමයි අතට අහු වෙන නොවෙන ගානේ චූටි ම චූටි බෝනික්කා.
2) පාදම් අවස්තාව දක්වා පරිවර්තනය/ඌනනය කෙරෙන නීති: රුසියානු බෝනික්කො උදාහරෙනම බැලුවොත්, එහිදී ලොකුම බෝනික්කා පුංචිම බෝනික්කා වෙන කම් ප්‍රමාණය අඩු වීම තමයි එහි ඌනන නීතිය.

මේ තියෙන්නේ සරලම උදාහරණයක්:
යම් පූර්ණ සංඛ්යාවකක ක්‍රමාරෝපිත අගය හොයන එකයි මෙයින් කෙරෙන්නේ.
(n නම් පූර්ණ සංඛ්‍යවේ ක්‍රමාරෝපිත අගය අපි ලියන්නේ මෙහෙම : n! = n x (n-1) x (n-2) x (n-3) ... x 1
එතකොට අපි හිතමු n = 7 කියලා. එතකොට
7! = 7 x 6 x 5 x 4 x 3 x 2 x 1

ඒක ගණිත සුත්‍රයක් විදියට ලිව්වොත්:


දැන් මේක පරිගණක ක්‍රමලේඛනයක් විදියට ලිව්වොත්...

private int factorial(int n) {
// base case/පාදම් අවස්තාව
if (n == 0) {
return 1;
}
// recursive case/ඌනන අවස්තාව
return (n * factorial(n - 1));
}


සහානුයාත ක්‍රමය වෙනුවට ලූප් එකක් යොදන්නත් පුළුවන්. සහානුයාතය යොදා ගන්නේ විසඳන්න වගේම තේරුම් ගැනීමේ පහසුව තකා. කොහොම උනත් සහානුයාතය නොගැලපෙන තැනුත් තියෙනවා. අදාළ ගැටලුව මත එය රඳා පවතින්නේ.


පින්තුර ගත්තේ විකිපීඩියා වෙන් : https://en.wikipedia.org

Tuesday, September 22, 2015

උදාන!

"උදාන" කියන්නේ ඉතාම පරමෝත්කෘෂ්ට ප්‍රීතියක්...
පිටාර ගලල ගිහින් පිටස්තරයන්වත් ප්‍රබෝධමත් කරන හැඟීමක්!

මහන්සි වෙලා වෙලා උසම උස කන්දක් නැග්ගාම, අමාරුම අමාරු විභාගයක් සමත් උනාම, කට්ට කාල කාල ගොඩ ගියාම, කෑ ගහලා උඩ පනින්න තරම් සතුටක් දැනෙන්නේ, අන්න ඒ උදාන ය!

ඒ උනත් වචන හරි වටිනවා කවියන්ට. මිල වැඩිම කවි සරලයි සුගමයි.

වචනයක සාන්ද්‍රණය හරි ඉහළයි එතකොට.

හරියට මකියාටෝ වීදුරුවක් එක පාරට බිව්වා වගේ...
...හැම පදයක්ම ඇඟට වදිනවා මදි නොකියන්න.

අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨෝ’සි
පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා1

Through the round of many births I roamed
without reward,
    without rest,
seeking the house-builder.
Painful is birth
    again & again.

House-builder, you're seen!
You will not build a house again.
All your rafters broken,
the ridge pole destroyed,
gone to the Unformed, the mind
has come to the end of craving2


1 - ධම්මපදය, 153 & 154
2 - Translated by Thanissaro Bhikkhu