Pages

Wednesday, January 16, 2013

බෙයිජිං හි සත් දිනක් 2 : මහා ප්‍රාකාරය සහ අති විශේෂ චීන වැසිකිළි සමඟ තවත් කතා

<<බෙයිජිං හි සත් දිනක් 1

චීන මහා ප්‍රාකාරය

බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ.

ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා.

චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම.
මේකේ පෙනෙන මුර කුටි වගේ එව්වා වල ඉඳන් මොන්ගෝලියානු සතුරන්ට චීන සොල්දාදුවෝ ඊතල විදින්න ඇති නේද?

මහා ප්‍රාකාරේ දී උන දෙබසක් තමයි මේ...

මේකේ A කොහේ ගියත් කියන කතාවක් තමයි අනේ අපි ගිය ආත්මෙක මෙහෙට එන්න ඇති කියල.
A : අනේ අපිත් ඉතින් ගිය ආත්මෙක මේකේ උඩට වෙලා ඊතල විද විද ඉන්න ඇති නේද අනේ?
B : ඔයා කවද හරි දවසක හඳට ගියත් කියයි අනේ අපි ගිය ආත්මෙකත් මේ හඳට වෙලා ඉන්න ඇති කියල.


මහා ප්‍රාකාරය ගැන දුක හිතෙන කතාවකුත් ඇහුනා. මහා ප්‍රාකාරයට 'මහා කනත්ත' කිව්වත් වරදක් නැහැලු. ඒ මොකද කිව්වොත් මේක හදද්දී ප්‍රාකාරේ වැඩ වලට ගත්තු මිනිස්සු නොයෙක් අනතුරු, ලෙඩ, හාමත වගේ හේතු නිසා මරුනලු. එයාලගේ මිනී දාස් ගණන් මේ ප්‍රාකාරේ අත්තිවාරම් වලට යට කරලා තියෙනවලු. බලාගෙන යනකොට චීනේ ඒ කාලෙත් 'Slave labour' තිබිල තියෙනවනේ! හැබැයි ඉතින් ඔය රජ කාලේ කොයි රටෙත් එහෙම වෙන්න ඇති නේද? ඉතිහාසය දන්නා කෙනෙක් ට තමයි ඒකට උත්තර දෙන්න වෙන්නේ...(ඔන්න හසිත අවස්තාව :D )

මෙහෙමත් වෙළෙන්දෝ !!

චීනේ ෂොපින් යන එක මහා එපා කරපු දෙයක් උනා. විශේෂයෙන්ම මම භාෂාව දන්නේ නැති නිසාත්, මා එක්කල චීන ජාතිකයෙක් ගියේ නැති නිසාත්. මට වැඩියෙන්ම එපා උනේ මේ වෙළෙන්දෝ එක්ක හෙට්ටු කරලා. සමහරු නම් ඔය Bargaining වලට කැමතියි නේ. මට පේන්න බැහැ ඕක. ඒත් චීනේ සමහර තැන් වලට යනවා නම් (සිල්ක් මාකට් එක වගේ) හෙට්ටු කරන්නේ නැතිව බැහැ. ඔය පහතින් දාන්නේ ඔහොම හෙට්ටු කරන කොට වෙන සාමාන්‍ය දෙබසක්:

මම: (හිම සපත්තු පෙන්වමින්) මේක කීයද? [යුවාන් 100-150 කට වඩා මේකට ගෙවන්න මට අදහසක් නැත]
වෙළෙන්දා: ආ ඔයා මොන රටෙන්ද?


මම: ශ්‍රී ලංකාවෙන් 

වෙළෙන්දා: ඕ ඒක හරි හොඳ රටක්නේ... හරි මේක මම ඇමරිකන් කාරයෙක්ට දෙන්නෙ යුවාන් 2000 කට.


මම: 2000 ක්???

වෙළෙන්දා: ඔව් එත් ඔයා මගේ යාළුවානේ...මම ඔයාට නිසා දෙන්නම් මේක යුවාන් 1000 කට.

මම: (මම කොහොමද හලෝ ඔයාගේ යාලුවෙක් වෙන්නේ. හම්බුනෙත් මේ දැන්) 1000 කට ඕක මට ගන්න සල්ලි නැහැ...ඒ ගාන ගොඩක්ම වැඩියි නේ මේකට.

වෙළෙන්දා: හරි හරි එහෙනම් 750 යි.

මම: එත් වැඩියි. මට එපා (මම දැන් යන්න හදනවා මේක ගන්න අදහස අත ඇරලා)

වෙළෙන්දා: ඉන්න ඉන්න! 700 යි! ගන්නවද?

මම: සමාවෙන්න මට ඕකට 100 කට වඩා ගෙවන්න බැහැ.

වෙළෙන්දා: 100 ක්??? මේ ඔරිජිනල් අග් බූට්ස්!! නියම බැටළු හම්!! මේ බලන්න ... (ලයිටර් එකක් අරන් සපත්තුවේ බූල් පුච්චයි)

මම: වෙන්න ඇති. ඒත් මා ගාව සල්ලි නැහැ.

වෙළෙන්දා: ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න කෝ.

මම: බැහැ ඒකෙත් සල්ලි නැහැ. මට ඕක එපා. මම යනවා. (කඩෙන් එලියට එමින්)

වෙළෙන්දා: හරි හරි ඔයා දිනුම් 250 ට දෙන්නම්.

මම: එපා.

වෙළෙන්දා: (කඩෙන් එලියට යන මං පිටිපස්සේ දුවන් එමින්) ඉන්න ඉන්න ...හරි හරි එහෙනම් 120 ක් දෙන්න.

මම: හා 
[පස්සේ මට හිතුනේ ඕක හදන්න යුවාන් 50 ක් වත් ගියාද දන්නේ නැහැ කියල. Original Ugg my foot!]


හෙට්ටු නොකර ගන්න කඩ, ෂොපින් මෝල් එහෙමත් නැතුව නෙවෙයි. එහෙම ගන්න යනවා නම් යන්න ඕනේ වැන්ෆුජින් වීදිය වගේ තැනකට. ඒ මුළු වීදියම තියෙන්නේ කඩ සාප්පු, සහ කන්න තැන්...මේ තියෙන්නේ ඒ වීදියේ ෆොටෝ එකක්:





සිල්ක් රෙදි හදන හැටි
අපි එක දවසක් සිල්ක් කම්හලකට ගියා. ඒකෙ පට පනුවාගේ කොශේ ඉඳන් සිල්ක් රෙද්ද වියන කන්ම බලන්න පුළුවන් උනා.




 
ඔන්න ඉස්සෙල්ලම පට පණු කෝෂ උණු වතුරේ තම්බනවා. අනේ එයාල මැරෙනවා එතකොට. සිල්ක් රෙදි හදන්න පට පනුවෝ දාස් ගණන් මෙහෙම තම්බල මරනවා කියල මට තේරුනේ එදයි.


ඊට පස්සේ පනුවව එලියට ගන්නවා.

ඊට පස්සේ කෝශේ අරන් ලෝහ ස්ටෑන්ඩ් එකේ දිග අරිනවා.
ඔය විදිහ ලේයර් වේලලා දිග ඇරලා තමයි සිල්ක් නුල් හදන්නේ. මේ ගෑනු ළමයි සිල්ක් ක්විල්ට් එකක් හදන්නයි මේ යන්නේ.


කපටි මසාජ්

මේ චීන ගයිඩලා සමහරු මහා දත් දොස්තරලා. සූරා කන්නම හදන අය එමටයි.
ඔන්න අපි තහනම් නගරය බලන්න ගිහින් එනකොට අපේ ගයිඩ් වාහනේ එන ගමන් කියවන්න ගත්තා පාරම්පරික චීන වෛද්‍ය ක්‍රම ගැන. එයා කිව්වේ ඒවා ඔක්කොම 100% ස්වභාවිකයි, අතුරු ප්‍රතිපල නැහැ කියල. ඊට පස්සේ එයා කිව්වා දැන් අපි ඔයාලව එහෙම පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයකට එක්කන් යනවා. එතැනදී ඔයාලට අපි නොමිලේ ෆුට් මසාජ් එකක් දෙනවා කියල. දවසම ඇවිදලා මහන්සි වෙලා හිටි නිසා අපිත් කැමති උණා.
ඔන්න ඉතින් ඒකට ගිහාම හොඳට පිරිසිඳු සහ ලොකුවට පෙනෙන්න තිබුන ඒ ස්තානය. එයාල කිව්වේ නම් චීන රජයෙන් කරන එකක් කියල. හැබැයි ඉතින් ඕව ෂුවර් නැහැ. ඉතින් අපි එක ශාලාවකට ගිහින් කකුල් දෙක උණු වතුර එකකට දාල ටිකක් හිටියා. ඒ උණු වතුර එකට මොනාද බෙහෙත් කොළ බෑග් එකකුත් දාල තුබුන. එහෙම විනාඩි 10 විතර ඉන්න කියල ඊට පස්සේ ඔන්න ආව චීන කොලු ගැටයෝ ටිකක් ෆුට් මසාජ් දෙන්න. ඉතින් ඒ අතරේ තව චීන ගෑනු ළමයෙක් ඉඳන් දේශනාවක් කරන්න ගත්තා එයාලගේ ක්‍රම වේදේ ගැන. අනේ මන්දා ඒ ලෙක්චර් එක අහන ඉඳල මට නින්ද යන්නත් ආව. කියෝනව කියෝනව ඉවරයක් නැහැ. කිව්වෙම බටහිට ක්‍රමේ වැරදියි, එයාලගේ ක්‍රමේ හොඳයි තමයි. ටිබෙට් වලින් එයාල අවුරුදු දාස් ගානක් පැරණි බෙහෙත් හොයාගෙනලු තියෙන්නේ.
ටිබෙට් රටේ ගෑනු අය නාන්නේ ජීවිතේටම වාර 3 යි ලු. ඒත් එයාල නිරෝගී ලු. එහෙම වෙන්නේ මේ ඉපැරණි බලවත් බෙහෙත නිසාලු. ඔන්න ඕව තමා කිව්වේ.

ඉතින් එයාගේ ලෙක්චර් එක අන්තිමට සුදු කෝට් ඇඳ ගත්ත 'දොස්තර' ල වගයක් ඇවිත් අපේ අත් බැලුවා. අතේ රේඛා වලින් ලු එයාල ලෙඩ කියන්නේ. ඒ පාර අත බලල දොස්තර කියන්න ගන්නවා ඔයාට මේ ලෙඩේ තියෙනවා, අර ලෙඩේ තියෙනවා, ඉක්මනටම බෙහෙත් කරන්න ඕනේ කියල. එයාලට ඒ ලෙඩ ඔක්කොම හොඳ කරන්නත් පුළුවන් කියල ත් කිව්වා. අපි ඉතින් මුකුත් නොකිය ඔහේ අහගෙන හිටියා. එයාල කියෝලා කියෝලා අන්තිමට තමයි හොඳම කෑල්ල කිව්වේ... බෙහෙත් වලට යන වියදම. ලෙඩ හොඳ වෙන්න නම් මාස දෙකක් බෙහෙත් කරන්න ඕනෙලු. මාසෙකට බෙහෙත් වලට වියදම ලංකාවේ මුදලින් රුපියල් 50,000/= විතර!!
එයාලගේ බෙහෙත් ඕනේ නැහැ කියල කීප සැරයක් කියල අන්තිමට වදෙන් බේරෙන්න ටිකක් තදින් කතා කරාටත් පස්සේ තමා අපිට කරදර කරන එක නැවැත්තුවේ!
එතනින් එළියට එද්දී ඔසී ජාතිකයෙක් කියනවා මෙහෙම හිනා වෙවී:
"හොඳට තියෙයි මුන් දෙන බෙහෙත් අරන් ඔස්ට්‍රේලියාවට ගියොත්! කොරන්ටින් එකේදී ඒවා ඔක්කොම අල්ලලා විසි කරාට පස්සේ අපිට හුළං තමයි!"
[ඕස්ට්‍රේලියාවේ කොරන්ටින් නීති හරි තදයි. ඔය ශාක කොටස්, ආයුර්වේද බෙහෙත්, කෑම එහෙම රට ඇතුලට අරන් යන්න හරි අමාරුයි. :D :D ]


බෙයිජිං ටොයිලට් හෙවත් හැපී රූම්

මම චීනේ යනවා කිව්වම මගේ එක මිතුරියක් කිව්වා ඊට අවුරුද්දකට කලින් එයා චීනේ ගිය වෙලාවේ අත්
විඳපු ටොයිලට් ප්‍රශ්න. හැබැයි එයාම ආයෙත් කිව්වා එයා ගියේ ගොඩක් ගම්බද පලාතක ට නිසාත් මම යන්නේ බෙයිජිං නිසාත්, බෙයිජිං වල එහෙම ප්‍රශ්න නැති වේවි කියලත්...එයා කිව්ව ඒ ටොයිලට් ප්‍රශ්නය ඔයාල හිතන්නේ අපිරිසිඳු කම කියලද? නැහැ...වෙන දෙයක්... :D
එයා කිව්වම මටත් පුදුම හිතුනා. හැබැයි මට පුද්ගලිකව එක අත් විඳින්න ලැබුන ඒක බෙයිජිං නගරේ. නිකම් පොඩි තැනකත් නෙවෙයි. ලොකු සුඛෝපභෝගී ෂොපින් මෝල් එහෙක....දැන් කියන්න බලන්න මොකද්ද මේ විශේෂත්වය කියල?

ඒ තමයි...ටොයිලට් එකේ දොරවල් නැති එක!! දොර කැඩිලා නෙවෙයි...දොරක් නෑ! ඒ කියන්නේ සාමාන්‍ය ටොයිලට් වල වගේ ස්ටෝල්ස් කීපයක් තියෙනවා වෙන් කරලා...හැබැයි එහෙක වත් දොරවල් නෑ! අනිත් එක ඒවා Squatting toilets. එතකොට ඉතින් ආවරණය කරගන්නවත් බෑනේ ඇඳුමකින් වත්! 
හොඳ වෙලාවට ගෑනු පිරිමි වෙන් කරලා තිබුනේ. මම ඇතුලට ගිය ගමන් සීන් එක තේරිලා අනික් පැත්තට හැරිලා ආව. හැබැයි ඒකෙ හිටපු ගෑනු අයට නම් ඔහේ ගාණක් නෑ. එක්කෙනෙක් හොඳට නිකට අත්දෙක උඩ තියාගෙන විවේකී සුවයෙන් ගෝලීය අර්බුදයක් ගැන හිත හිත ඉන්න විලාසයක් තමයි හැරෙන තැපෑලෙන් ආපහු එද්දී මම දැක්කේ! :D
PS: චීන අය ටොයිලට් එකට කිව්වේ හැපී රූම් කියා ය :D 

සබ්වේ (උමං දුම්රිය)

බෙය්ජින් වල එහෙ මෙහෙ යන්න ලේසිම සහ ලාභම විදිහ උමං දුම්රිය හෙවත් Subway එක. ස්ටේෂන් අතරින් subway line මාරු කරමින් ගොඩක් තැන්වලට යන්න පුළුවන්. ඒ වගේම කොහෙට ගියත් එක්කෙනෙක්ට ගාන යුවාන් 2 යි. ඒ වගේම හරිම User friendly.  ගමනාන්තය දක්වා දුම්රිය ස්ටේෂන් මැන්ඩරින් සහ ඉංග්‍රීසි දෙකෙන්ම පෙන්වනවා. නිවේදනය කරනවත් එක්ක. ඉතින් මැන්ඩරින් නොදන්නා කෙනෙක්ට උනත් පහසුවෙන් බහින තැන මිස් වෙන්නේ නැහැ. හැබැයි එකම දේ අධික තදබදය තමයි. විශේෂයෙන් rush hour එකේදී. අම්මෝ එච්චර මිනිස්සු මම දැකල නැහැ ජීවිතේට!

ම්ම් ඉතින් ඔන්න ඕක තමයි මගේ චීන සංචාරේ විස්තරේ... :) අසා සිටි ඔබ සැමට ස්තුතියි!

බෙයිජිං හි සත් දිනක් 1: හිමෙන් වැසුනු තහනම් නගරය සහ වෙනත් කතා

ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ.

චීන වීසා සන්නිය 
හදිසියේ යන්න උණු නිසා  වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල උනත් චීනෙට නම් යන්නෙම නෑ කියල හිතෙන තරමට චීන මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් කරා. සම්මන්ත්‍රණයකට යනවා නම් එයාලගේ හැටියට බිස්නස් වීස ගන්න ඕනෙලු. ඒක ගන්න චීන ආණ්ඩුවෙන් ලියුමක් ඕනේ. ඒකත් නිකම් ඊ මේල් කරලා බෑ. තැපැල් කරලා ඕනේ. හැබැයි ඔව්ව එයාලගේ වෙබ් සයිට් එකේ නෑ. එතෙන්ට ගිහාම තමයි ඔය බණේ කියන්නේ...ඉතින් ඔන්න කොහොම හරි කරලා ඉතින් චීනෙට ගියා ලු :D දැන් කියන්න යන්නේ එහෙ ගිහින් දැකපු කරපු දේ ...


හිම හිම හිම!

මේ කාලේ චීනෙට සිසිර ඉර්තුව. බෙයිජිං තියෙන්නේ උතුරට වෙන්න නිසා හොඳටම සීතලයි. හිම වැටිලා හැම දෙයක්ම සුදු පාටයි. උදේට බලද්දී හැම දෙයක්ම හිමෙන් වැහිලා ලෝකෙම සුදු පාටින් තමයි පෙනෙන්නේ. හිමීට හිමීට හිම වැටෙද්දී මම උදේට ඇවිදින්න ගියේ ගොඩක් ආසාවෙන්. එතකොට ඇහි පිහාටු වල හිටන් හිම කැරලි රැඳෙනවා. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා :) මේ තියෙන්නේ එහෙම පාර දිගේ ඇවිදිද්දී ගත්තු ෆොටෝ එකක්.
හැබැයි එකක් තියෙනවා. හිම වැටෙද්දී තියෙන ලස්සන හිම දියවෙද්දි නැහැ. එතකොට පාර මඩ වෙලා හිම කිළුටු පාටක් ගහනවා. එතකොට පාරවල් වල ඇවිදින කොට පරිස්සම් වෙන්න ඕනේ දාගෙන ඉන්න සපත්තු තෙත බරිත නොවෙන්න.



ටියනාන්මෙන් චතුරශ්‍රය
මේ ලෝකයේ තියෙන ලොකුම පොදු චතුරශ්‍රය කියල තමයි හැඳින්වෙන්නේ. හැබැයි ටියනාන්මෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධ 'ටියනාන්මෙන් සමුලඝාතනය' හැටියට. ඒ අර 1989 දී මහජනතාව, විශේෂෙන් විශ්ව විද්‍යාල ළමයි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක දී බුරුතු පිටින් මැරුව එක.


තහනම් නගරය
තහනම් නගරය කියන්නේ චීනයේ 'මින්ග්' රජ පෙළපතේ 15 වෙනි සියවසේ ඉඳන් අවුරුදු 500 විතර කාලයක් තිස්සේ වාස භුමිය. ඒකට මෙහෙම නමක් වැටිලා තියෙන්නේ මේ මාළිගා භුමිය සාමාන්‍ය පුරවැසියන්ට තහනම් නිසා ලු.





මේකේ පේනවද මන්දා පින්තුරේ කොනක සිංහයෙක් ඉන්නවා? මේ මාලිගා බිමට ඇතුළුවන තැන සිංහ පිළිම දෙකක් තියෙනවා. සිංහයයි, සිංහ ධෙනුවයි. ඔය පෙනෙන්නේ සිංහයා. සිංහ ධෙනුව හිටියේ ඉදිරි වම් ගාතය යට සිංහ පොව්වෙකුත් තියාගෙන. ඒකෙන් පිළිඹිඹු වෙන්නේ සරුබව ලු.  

මේ මාළිගා සංකීර්ණය ගැන ලස්සන කතා තියෙනවා. එකක් තමයි මේකේ තියෙනවලු කාමර 9,999.5 ක් :D කාමර දශම පහක් තියෙන්නේ කොහොමද කියල නම් දන්නේ නැහැ! එහෙම කියන්න හේතුව මේකලු: දැන් ඔය චීන අධිරාජයා හැඳින්වුණේ දිව්‍යමය අධිරාජයාගේ පුතා හැටියට ලු. ඒ කියන්නේ නිකම් දෙවියන්ගේ පුතා වගේ එකක්. ඉතින් දිව්‍යමය අධිරාජයා ගේ දේව මාළිගේ කාමර 10,000 ලු. ඉතින් ඒකට වඩා ඉක්මවන්න හොඳ නැහැනේ. ඒත් පුතා හින්ද පොඩ්ඩක් ළඟින් යන්නත් ඕනෙනේ. ඉතින් ඒ හින්දලු ඔය දශම පහක් අඩු කරලා තියෙන්නේ.



ඉතින් දැන් මොකටද මෙච්චර කාමර? වෙන මොකටද ඉතින් අධිරාජයාගේ අන්තඃපුර කාන්තාවන්ට මිසක්! :D :D අන්තඃපුර බිසෝ ල දාහකට වැඩිය ඉඳල තියෙනවා අධිරාජයාට. ඉතින් හිතා ගත්තහැකි නේ ළමයි ගැන. ඔය ළමයින්ගේ විවාහ උත්සව ගන්න එකත් වෙනම රාජකාරියක් වෙනවනේ. ඉතින් ඒකටත් තහනම් නගරය ඇතුලේ වෙනම ලොකු ශාලාවක් තියෙනවා!
 

එක එක සිංහාසන කාමර ගොඩක් තිබුණත් මගේ මතකෙට හොඳටම කා වැදුනේ 'කිසිවක් නොකරන්න' කාමරේ. ඒ කිව්වේ ඒකෙ සින්හාසනෙට උඩින් චීන අකුරින් ලියල තියෙනවා 'Do Nothing' කියල. එකේ තේරුම එන්නේ ටාඕ දර්ශනයෙන්ලු. මේකට එක එක අර්ථකතන තියෙනවා. 'අනුන් වෙනස් නොකරන්න, තමන් වෙනස් වන්න', 'අත් හරින්න', 'පාලනය නොකරන්න' ඒවා වලින් කිහිපයක්. අවාසනාවකට මට ඒකෙ පින්තුරයක් ගන්න බැරි උණා. තද සීතල නිසා වැඩි වෙලා එක දිගට ග්ලවුස් ගලවල ඉන්න අමාරුයි. ඒත් ග්ලවුස් දාගෙන කැමරාව ආම්බාන් කරන්නත් අමාරුනේ. ඒක නිසා සමහර තැන් වල ෆොටෝ ගන්න බැරි උනා :(


ස්වර්ගයේ දෙවොල

 මේකත් ටාඕ දර්ශනයට අයිති ආගමික ගොඩනැගිල්ලක්. 15 වෙනි ශත වර්ෂෙට අයිතියි.
මෙතැනදී උනා මරු වැඩක්. ඒ තමයි චීන ජාතිකයෝ අපි එක්ක ෆොටෝ ගන්න පුලුවන්ද කියල අහපු එක!!. මේ සිද්ධිය කිහිප තැනකදීම උනත් මට මුලින්ම උනේ මෙතෙන්දි. ෆොටෝ ගත්ත විතරක් නෙවෙයි කට ඇරන් බලන් ඉන්න ගතියකුත් තිබුන සමහරු නම්. :D මම හිතන්නේ දුඹුරු හම තියෙන අය ව වැඩිය දැකල නැති නිසා වෙන්න ඇති!




 
ගිම්හාන මාළිගාව 

මේකට මාළිගය කිව්වට ඇත්තටම මේක දක්ෂ ගෘහ නිර්මාණයට උදාහරෙකට ගන්න පුළුවන් උද්‍යානයක්. කඳු ගැටයක්, වැවක් සහ මාළිගා වක් තමයි මේකේ මුලික අංග වෙන්නේ.
 
මේ  වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන්නේ ඒ මිදුණු වැව. මිනිස්සු ඒකෙ උඩ ලිස්ස ලිස්ස ඇවිදින හැටි අපි දැක්ක. සමහරු මේ පුටු තියාගෙන වාඩිවෙලා ඉන්නේ මොකටද කියල නම් තේරුනේ නැහැ...මේ වැව තනිකර කෘතීම වැවක් ලු. ඒ කියන්නේ උද්‍යාන අලංකරණය තකා හැදුව ජලාශයක්.
බෙයිජිං වල ඇවිදිද්දී දැක්ක දෙයක් තමයි එයාල ඔය ෆෙන්ග් ෂුයි ගැන තියෙන තදබල විශ්වාශය. කඳු ගැටය සහ වැව නියමිත දිශාවලින් පිහිටුව ල තියෙන්නේ එහෙම මොකද්ද වැදගත් කමක් ඇතිව බව ගයිඩ් කිව්වා මතකයි.



මේ වැව හරහා යන ලස්සන ආරුක්කු 17 පාලමක් තියෙනවා. හදල තියෙන්නේ 18 වෙනි සියවසේ.






මින්ග් සොහොන්
මේ මින්ග් අධිරාජයන් වළලා තියෙනවා කියල කියන සොහොන් ගෙවල්. මෙයාල වළලලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. වස්තුව ගොඩක් එක්ක.
ඒත් ඇඟ හිරි වැටෙන කතාව ඒක නෙවෙයි. අධිරාජයා මැරෙන්න ලං වෙන කොට එයා ලියනවලු අන්තිම කැමති පත්‍රය වගේ එකක්. දන්නවද ඒකෙ තියෙන්නේ මොනාද කියල? අධිරාජයාගේ ප්‍රියතම අන්තඃපුර බිසෝ ලයි, ප්‍රියතම ළමයින්වයි ඒකෙ සඳහන් කරනවලු. අධිරාජයා මැරුණම අර 'ප්‍රියතම' කට්ටියත් එයා එක්ක වළලනවා ලු... අධිරාජයාගේ 'ප්‍රියතම' වෙන එකත් හරි භයානකයි නේ බලාගෙන යද්දී. ඒත් අප්‍රිය උනොත් හිස් ගසා දානවා. හපොයි! ප්‍රිය උනත් ඉවරයි. අප්‍රිය උනත් ඉවරයි. Either way you're screwed!

මේ නිල් පාට තොරණ වගේ එක යටින් යන්න තිබ්බේ මින්ග් සොහොන් බිමෙන් පිට වෙන තැන. එතනින් පිට වෙද්දී ගයිඩ් කිව්වා අපිට එක කකුලක් පොලවේ හප්පලා, ඇඟ පොඩ්ඩක් පිහිදාල ගසල එහෙම මොකද්ද චීන වාක්‍යක් කියන්න කියල. චංග් චිං චුන් කියල අපිත් ඉතින් කිව්වා. මිනිහ කිව්වේ නම් එහෙම කරන්නේ සොහොන් බිමේ අරක් ගෙන ඉන්න නපුරු භූත ආත්ම අපේ ඇඟේ එල්ලෙන්න හදන නිසා උන් අයින් කරන්න ලු. (එහෙම කිව්වට මොන කුනුහරුපයක්ද දන්නේ නෑ ඔය කිව්වේ හැබැයි)


අදට ලිව්වා ඇති වගේ...ඊළඟට චීන මහා ප්‍රාකාර ගමන, චීන වෙළෙන්දෝ එක්ක හෙට්ටු කර කර ෂොපින් කරපු හැටි, කපටි චීන මසාජ් දොස්තර, සේද & ජේඩ් ෆැක්ටරි, සහ... last but not least, චීන ටොයිලට් හෙවත් හැපී රූම් ගැන ලියන්නම් :D