Pages

Tuesday, July 31, 2012

මැක්කන්ගේ සර්කස්

දන්නවද 'මැක්කන්ගේ සර්කස්' හෙවත් Flea circus කියන්නේ මොකටද කියල?

සාමාන්‍ය මැක්කෙක්ට උඩට අඟල් 7 ක් පමණ සහ හරහට අඟල් 13 විතර පනින්න පුළුවන් (source: Wikipedia).
 ඒත් ඌව අල්ලලා ගිනි පෙට්ටියක දැම්මොත් ඌ ටික වෙලාවක් යනකම් ගිනි පෙට්ටිය ඇතුලේ පැන පැන ඉන්නවා. පෙට්ටියේ දිග පළල ඉක්මවා යන්න ඌට බැහැ.

ඊට පස්සේ ඌව ගිනි පෙට්ටියෙන් එලියට ගන්නවා.
ඒත් ඌ දැන් දිගටම පනින්නේ අර ගිනි පෙට්ටියේ උසමයි.


මේ තියෙන්නේ හුස්ටන් හි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තිබෙන මැක්කන්ගේ සර්කස් සඳහා භාවිතා වුනු ක්ෂුද්‍ර සර්කස් මෙවලම්:
diijon's flea circus



බ්‍රිටනිකා විශ්වකෝෂයෙන් ගත්තු මේ පින්තුරෙන් පරිමාණය ගැන අදහසක් ඒවි:


අපේ තිබෙන බොහෝ සීමා මායිම්, යම් යම් හේතු නිසා පනවා ගෙන ඇත්තේ අපමය. මේ ව්‍යාජ සීමාවන් අතරේ ගිනි පෙට්ටිය තුල සිටි මැක්කා මෙන් අප ද  සිරවී ඇත.
 

Wednesday, July 4, 2012

සමථය, විපස්සනාව සහ සැබෑ බෞද්ධ කම

සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ, සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය.

එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~

ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල්

මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ලාංකික. ඉතුරු අය චීන (චීන කියල අදහස් කරන්නේ තායි, බුරුම ආදී 'ඇස හීනි' ජනතාව හැමෝම.) සහ සුදු (ඕස්ට්‍රේලියානු, ජර්මානු, ස්කොට්). මගේ වර්ගීකරණය politically correct නොවෙන්න පුළුවන්. But whatever. :D

දේශකයා තමයි ඕස්ට්‍රේලියානු ජාතික 'ජැග්' ස්වාමීන් වහන්සේ. බුරුමයේ පැවිදි උන ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂුවක්. ලංකාවටත් ගිහින් තියෙනවා. ජීවිතේ පලවෙනි වතාවට 'ලංකාවට යාම' 'සුදුසුකමක්' හැටියට කෙනෙක් කීව. අපි සී වී ලියද්දි එහෙම පිටරට අධ්‍යාපනය හෝ පිටරට රැකියා කිරීම 'සුදුසුකමක්' හැටියට සටහන් කරනවා වගේ. :)

දේශක කිව්වට උන්වහන්සේ වැඩිපුර කරන්නේ ප්‍රශ්න වල ට පිළිතුරු දෙන එක. සුත්‍ර ආශ්‍රයෙන් බොහෝ නිරවුල්ව, විස්තරාත්මකව උන් වහන්සේ ඒ දේ කළා. ඒ කතිකා වලට සවන් දීම ඉතාම ආසා කරන දෙයක්. එකම බාධාව උනේ වෙලාව.


වැඩිමනත් ප්‍රශ්න ඇහුවේ සුදු ජාතිකයන්. ධර්ම කරුණු ගැන වගේම, ඔවුන් භාවනා කිරීම ගැනත් ප්‍රශ්න කළා. එයින් මට හිතුනේ මෙහෙම දෙයක්:
උපතින් බෞද්ධ අප තරම්, පසුව බෞද්ධ වූ ඔවුන් ධර්ම කරුණු නොදනී.
නමුත් අපට වඩා භාවනාව ට බොහෝ උනන්දුය. ප්‍රායෝගිකවම භාවනාව ප්‍රගුණ කරති.

මෙහිදී නැගුනු සමහර ප්‍රශ්න සහ පිළිතුරු මට මතක හැටියට සටහන් කරනවා.

ප්‍ර: අපට බුදු දහම ඉගෙන ගන්න පුළුවන් මුලාශ්‍ර මොනවාද? අන්තර්ජාලයේ බොහෝ දේ තිබුනත්, පොත පත බොහෝ තිබුනත්, ඒවායේ නිරවද්‍යතාවය ගැන අපට ගැටළු තිබෙනවා. සමහර තැන් පරස්පර විරෝධී.
උ: ඔව් අන්තර්ජාලයේ තිබෙන සියලු දේ නිවැරදි නැහැ. ඒ වගේම පත පොතත්. මෙහෙමයි. නිර්මල බුදු දහම ඉගෙන ගන්න නම්, බුදු හාමුදුරුවන් දේශනා කල සුත්‍ර වලට යන්න ඕනේ. ඒවා තිබෙන්නේ පාලි භාෂාවෙන්. නමුත් ඉංග්‍රීසි පරිවර්තන ඔබට සොයාගන්න පුළුවන් වේවි. මෙහිදී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ, පරිවර්තනයේදී මුල් සුත්‍රය කුමක්ද, රචකයා එයට දී ඇති අර්ථ කථනය කුමක්ද කියා. බෝධි හාමුදුරුවන්ගේ 'In the Buddha's Words: An Anthology of Discourses from the Pali Canon' පොත මට රෙකමෙන්ඩ් කරන්න පුළුවනි මුල් පියවරක් හැටියට.

ප්‍ර: ඔබ කියනා සුත්‍ර බුදු හාමුදුරුවන් දෙසු ආකාරයටම සුරක්ෂිතව ඇතැයි කියා විශ්වාසයෙන් කියන්න පුලුවනිද?
උ: ඇත්ත වශයෙන්ම 100% එහෙම කියන්න බැහැ. නමුත් 90% ක් ඒ ධර්මය එසේම ඇතැයි කියා මා සිතනවා (මා වටහාගත් ආකාරයට). බුදු හාමුදුරුවන්ගේ කාලේ ධර්මය ග්‍රන්ථාරූඪ කර තිබුනේ නැහැ. සංඝයා එක්ව මේ සුත්‍ර සජ්ජායනා කරනවා ඒවා නිවැරදිව මතක තබාගන්න. මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. දෙයක් පොතක සටහන් කල විට තත්වය වෙනස් වෙනවා. රචකයාට තමන්ගේ පුද්ගලික අදහසක් සියුම්ව එයට ඇතුලත් කරන්න පුළුවනි. එවිට කල් යද්දී මුල් අරුත් වෙනස් වෙනවා. අත්වැරදීම් වෙන්නත් ඉඩ තියෙනවා. එක අකුරක් වැරදුනත් තේරුම වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පරිවර්තනය කරද්දී තේරුම් වෙනස් වෙන්න පුළුවන්. අභිධර්ම පිටකයේ තිබෙන්නේ ධර්මය ගැන වෙනත් භික්ෂුන් ගේ අර්ථකතන (commentaries). ඒ නිසා යි සුත්‍ර පිටකයම කියවන්න යයි මා කියන්නේ.
එක උදාහරණයක් හැටියට මෙහෙණින් වහන්සේලා පිලිබඳ කියා ඇති සමහර දේ. මහා කාරුණික බුදුන් වහන්සේ එවැනි දේ කියන්න ඇතැයි මට විශ්වාස කරන්න අමාරුයි. ඒ දේවල් නම් (*සිනාසෙමින්) පසු කාලීනව කවුරු හරි 'oh these bloody nuns are a pain in the neck' කියා සිතපු කෙනෙක් ඇතුල් කරලා.
 
ප්‍ර: සමථ සහ විපස්සනා භාවනා දෙකක් මොනවාද? ඒ දෙකෙන් වඩා හොඳ මොන එකද?
උ: මෙහෙමයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ දෙකම වඩන්න කියලයි. සමථයෙන් අපට ලැබෙන්නේ සමාධි ය (tranquility). විපස්සනාවෙන් නිරවුල් දැකීම (insight /'clear seen'). මම මෙහෙම කියන්නම්. ඔබට වතුර පිරවූ වීදුරු බෝතලයක් දෙනවා. එයට මඩ, වැලි, ගල්, බොරළු ආදී අපද්‍රව්‍ය කලවම් කරනවා. දැන් ඒ බෝතලය අල්ලා වැරෙන් හොලවනවා. ඔබේ මනසත් ඒ සොලවා කැලතු මඩ වතුර වගේ. නිතරම මනස සෙලෙවෙමින් තියෙන්නේ. වතුරේ ඇති අපද්‍රව්‍ය අයින් කරන්න නම් ඔබ මුලින් ඒ අපද්‍රව්‍ය හඳුනා ගන්න ඕනේ. මේක කරන්න නම් මුලින් ඔබ බෝතලය හොලවන එක නවත්තල එය නිසල කරන්න ඕනේ. ඒ නිසල කරන්න නම් ඔබ සමථය වඩන්න ඕනේ. අන්න එතකොට අර අපද්‍රව්‍ය කෙමෙන් තට්ටු වශයෙන් තැන්පත් වෙනවා ඔබට පේනවා. එතකොට ඔබ විපස්සනාව වඩලා ඒ අපද්‍රව්‍ය හඳුනාගෙන බැහැර කරනවා. මේ මඩ කියල මෙහිදී නිරුපනය වන්නේ ඔබේ රාග ද්වේශ මෝහ.
මේ දෙකෙන් එකක් විතරක් වැඩක් නැහැ. දෙකම ඕනේ. මුලින් සමථ භාවනාව ප්‍රගුණ කරද්දී ජ්‍යාන (ධ්‍යාන) ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ මනස නිසල වීම තල. නිතරම සමථ භාවනාවට පසුව විපස්සනාව වඩන්න ඕනේ. එවිටයි ඔබේ නිසල වූ සන්සුන් වූ මනසෙන් පැහැදිලි දැකීම ලැබෙන්නේ. සමස්තයක් විදියට මම දැකල තියෙනවා, ගැහැණු අයට සමථය වඩන්න පහසුයි. පිරිමි අයට විපස්සනාව වඩන්න පහසුයි. මේ දෙකොට්ටාසයේ අඩු පාඩුවක් නොවේ. ඒ මිනිස් මොළය දඩයම් යුගයේ පටන් පරිනාමය වූ හැටි.

ප්‍ර: විවිධ රටවල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ සම්ප්‍රදායන් විවිධයි. ඔබ එය දකින්නේ කෙසේද?
උ: මම සම්ප්‍රදායන් (traditions) අනුගමනය කරන්නේ නැහැ. නමුත් ඒ ඒ රටවලදී ඒ සම්ප්‍රදායන් අනුව හැසිරෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේදී ඔවුන්ට උචිත සම්ප්‍රදායක් තිබෙනවා. බුරුමයේදී ඔවුන්ට ගැලපෙන සම්ප්‍රදාය. නමුත් මම ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ඒ සිරිත් ඒ රටවල් වලම තබලයි එන්නේ. මොකද ඒ සිරිත් විරිත් ඒ රට වල වල සංස්කෘතීන් හා අනුබද්ධ දේවල් මිසක් බුදු හාමුදුරුවන් දේශනා කල දේවල් නොවේ.
පුද්ගලිකව මම traditions වලට කැමති නැහැ. මොකද යම් යම් කාලවලදී යම් යම් භික්ෂුන් ප්‍රසිද්ධ වෙනවා. ඔවුන් වටේ මිනිස්සු එක රැස් වෙනවා. Cults ඇති වෙනවා. සමහරු එතකොට අනුගමනය කරන්නේ ධර්මය නොවේ අර පුද්ගලයාව. ඊට පස්සේ ඒක tradition එකක් වෙනවා. මේක හොඳ දෙයක් නොවෙයි. අහල තියෙනව නේද 'Absolute power corrupts absolutely' කියන කියමන.

ප්‍ර: මම වරක් ජර්මනියේදී දින 10 ක භාවනා ආරණ්‍යකට ගොස් අපුරු අත්දැකීමක් ලැබුවා. එය තිබුනෙත් ගස් කොලන් වලින් වටවුණු කැලාබද පෙදෙසක. ආපහු මම එන්න පිටත් උනේ තනිවම වාහනය පදවාගෙන. මට එන්න පුළුවන් උනේ ටික දුරයි. මට අවට ගස් කොලන් හරිම දීප්තිමත් කොළ පාටින් පේන්න ගත්තා. කුරුල්ලන්ගේ සද්දේ, මල් පිපිලා තිබිච්ච හැටි හැම දෙයක්ම පෙනෙන නිසා මට වාහනය පදවන්න අමාරුයි කියා දැනෙන්න උනා. මට හිතුනා 'මේක හරිම භයානකයි' කියා. පසුව මම ටික වෙලාවක් වාහනය නවතාගෙන හිටියා.
උ: ඔව් එහෙම වෙන්න පුළුවනි. එක දිගට භාවනා කරද්දී අපිට කලින් නොපෙනුණු දේ වඩාත් හොඳින් පේන්න ගන්නවා. (*සිනාසෙමින්) මේක ලෞකික ජීවිතේදී කරදර වන අවස්ථා තියෙනවා. එකනේ මම වාගේ වෙන්න කියන්නේ!
-*මෙතෙන්දි මම මැද්දට පැනල අජාන් බ්‍රහ්මවන්ශ හාමුදුරුවන්ගේ  Basic method of Meditationපොතේ තියෙන මේ කොටස එකතු කරන්න හිතුවේ මේ ප්‍රශ්නය ඇහුව කාන්තාවට සිදුවුණු දේ පැහැදිලි කරන්න.
'You may imagine your mind to be a host at a party, meeting the guests as they come in the door. If one guest comes in and you meet them and start talking to them about this that or the other, then you are not doing your duty of paying attention to the new guest that comes in the door. Because a guest comes in the door every moment, all you can do is to greet one and then immediately go on to greet the next one. You cannot afford to engage in even the shortest conversation with any guest, since this would mean you will miss the one coming in next. In meditation, all experiences come through the door of our senses into the mind one by one in succession. If you greet one experience with mindfulness and then get into conversation with your guest, then you will miss the next experience following right behind'. 


ප්‍ර: මම meditation retreat වලට ගිය විට එය අවසානයේ සිතට ඉතාම සැනසිලිදායක සුවයක් දැනෙනවා. ඒත් නැවත ලෞකික ජීවිතයට ගොස් ටික කාලෙකින් ඒ සුවය මැකී යනවා - මම උදේ සවස පැය දෙකක් පමණ භාවනා කලත්.
උ: ඔව්. මගේ අත්දැකීම නම් අඩුම තරමේ දවසට පැය 4 ක්වත් භාවනාව පුරුදු කරන්න ඕනා. නැත්නම් improve වෙන්න අමාරුයි.
ප්‍ර: ඒත් ගිහි ජීවිතයේ ප්‍රශ්න එක්ක එච්චර වෙලාවක් කැප කරන්න අමාරුයි නේ. මගේ ස්වාමියාගේ, ගෙදර දොර කටයුතු බලන්නත් ඕනා නේ
උ: (*සිනාසෙමින් සිවුර පෙන්වමින්) ඒකනේ... මේ පේනවා නේද විසඳුම...ඔව් ඉතින් විවාහය කියන්නේ කරදර වැඩි වීමක්. විශේෂයෙන් දෙන්න ගෙන් එක්කෙනෙක් ලෝකෝත්තර පැත්තටත් අනිකා ලෞකික පැත්තටත් නම්. එක්කෙනෙක් කියනවා 'let's have a beer' කියල. අනිත් එක්කෙනා කියනවා 'let's meditate' කියල. ඉතින් එතකොට අමාරුයි. 

තව කරුණු සාකච්ඡා වුනු නමුත් දැනට මෙයින් පෝස්ට් එක ඉවර කරනවා.

මට මෙහිදී සිතුනු දෙයක්:
ශ්‍රී ලාංකිකයන් බුදු සසුන වෙනුවෙන්, එහි පැවැත්ම, ධර්ම ප්‍රචාරය වෙනුවෙන් මහන්සි වෙන බව ඇත්තය. ඒත් ඒ ධර්මයේ නියම ප්‍රයෝජනය ගන්නා බහුතරය ශ්‍රී ලාංකික අයද?