Skip to main content

අපි නොදන්න කප් කේක් - හෙවත් ස්පන්චි

මම ගෙදර ඉන්දැද්දී, සමහර දවස් වලට හවසට ගේ ළඟ තිබුන බේකරියට ගිහින්, මොනවා හරි කන්න අරන් එනවා ගෙදර අයට. වැඩ ඇරිලා එනකොට සමහර වෙලාවට අම්ම කෝල් කරලා ත් කියනවා 'පුතේ කන්න මොනා හරි අරන් එන්න කියල'. ඉතින් ඔය 'මොනා හරි' කියල අම්ම කියන්නේ ස්පන්චි වලට කියල මම දන්නවා. අම්ම යි මායි දෙන්නම ස්පන්චි කන්න හරි හපනියෝ.

මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ කට්ටිය ස්පන්චි ස්පන්චි කිව්වට ලෝකේ ගොඩක් අය මේවට කියන්නේ 'කප් කේක්' කියල. නමින් කොහොම හැඳින්වුනත් ගොඩක් අය ආස කරන කෑමක් තමා මේ කප් කේක්. ඉතින් ආයි තව වැල් වටාරම් නැතිව අද මේ හදන්න කප් කේක් හදන හැටි කියන්නයි. මේ හදන්නේ චොකලට් කප් කේක් හොඳේ. නිකම් ප්ලේන් වැනිලා ඒවාට වඩා රසයිනේ.

ඔන්න ඕනේ කරන දේවල්: - කප්කෙක් 8 පමණ හදාගන්න පුළුවනි
කොකෝවා පව්ඩර් හොඳට පුරවපු මේස හැඳි 1
කිරි කෝප්ප 1 (නටන උණු වතුරේ කිරි පිටි මේස හැඳි 2 විතර දාල හදාගන්න. මේක රස්නෙන් තියාගන්න)
පිටි ග්‍රෑම් 175
බේකින් පව්ඩර් තේ හැඳි 2
බටර් ග්‍රෑම් 115
සීනි ග්‍රෑම් 200
ලොකු බිත්තර 2
වැනිලා තේ හැඳි 2
ක්‍රීම් ඔෆ් ටාටා පව්ඩර් තේ හැඳි 1/8 ක් විතර


  1. උණු පිටි කිරි වල කොකෝවා කුඩු දියකරන්න. කැටි වගේ තියේ නම්, භාජනයක දාල ලිපේ තියල යන්තම් රත් කරමින් හැඳි ගෑවත් කමක් නැහැ. හැබැයි නටවන්න තරම් රත් කරන්න එපා.
  2. බෝල් එකක ට පිටි, බේකින් පව්ඩර් සහ ක්‍රීම් ඔෆ් ටාටා එකට හලා ගන්න. පිටි වල ගුල්ලෝ නැහැ කියල හලන්නේ නැතිව ඉන්න එපා. මෙහෙම මේ ජාති 3 එකට හැලුවාම කේක් හොඳට පිපෙනවා කියල මම අත්දැකීමෙන් දැකල තියෙනවා. මේකට හේතුව හලද්දී පිටි අංශු හොඳට aerate වීමයි.
  3. බටර් සහ සීනි හොඳට ක්‍රීම් වනතුරු ගහන්න. මේකට හෑන්ඩ් මික්සර් එකක් වගේ පාවිච්චි කරාට කමක් නැහැ. ඔය සවි ශක්තිය තියෙන කට්ටිය ඉතින් අතින් ගහන්න. :D
  4. බටර් සීනි මිශ්‍රනෙට බිත්තර එකින් එක එකතු කරන්න.
  5. වැනිලා ද ඒකට දමන්න. පිටි මිශ්‍රනේද එකතු කර, අන්තිමට කොකෝවා කිරි එකතු කර හොඳට හැඳි ගාන්න.
  6. පිටි එකතු කරාව පස්සේ බීට් කරන්න මික්සර් එකක් පාවිච්චි කරනවා නම්, පරිස්සමින්, over beat වෙන්න දෙන්න එපා. එතකොට අර පිටි අංශු අතර හිර වුනු වාතය ඔක්කොම එලියට ගිහින් පිපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් මේ හදාගත්ත බැටර් එක උනත් කන්න පුළුවන්. හරි රසයි.
  7. දැන් සෙන්ට්‍රිග්රෙඩ් 190 ට රත් කරපු අවන් එකක, යන්තම් බටර් ගාල ග්‍රීස් කරපු කප් කේක් කප්ස් වලට හදා ගත්තු මිශ්‍රනේ දාල විනාඩි 15 විතර බේක් කරන්න.
  8. විනාඩි 15 ට වඩා යන්නත් ඉඩ තියෙනවා. නමුත් ඕනවට වැඩිය මේක බේක් උනොත් වේලෙනවා. ඒක නිසා හොඳම වැඩේ විනාඩි 15 කින් බලල, ඕනේ නම් තව ටිකක් තියන එකයි. දන්නවනේ බේක් වෙලාද නැද්ද කියල බලන හැටි? ඉරටුවක් හරි ගරුප්පුවක් හරි මැද්දට ගැහුවාම මුකුත් නොගැවී එලියට ආවානම් හරි.
  9. දැන් ඉතින් ඔච්චරයි. දැන් තියෙන්නේ කප්ස් වලින් එලියට ගත්තු ස්පන්චි නිවුනාට පස්සේ ඕනේ නම් අයිසින් වලින් හැඩ කරගන්න එකයි...

 ආ...තව එකක් මම මේ ව හැදුවේ සිලිකොන් බේකින් කප්ස් වල. සමහර විට ලංකාවෙත් දැන් මේවා ඇති. මේවල තියෙන විශේෂත්වේ ලෝහ බේක් වෙයා වල වගේ තෙල් බටර් ගාල ග්‍රීස් කරන්න ඕනේ නැහැ. නිකම්ම ගැලවෙනවා...ඒක නිසා ලේසි විතරක් නෙවි ඇඟටත් හොඳයිනේ:)

Comments

  1. මෙව්ව හොඳ වැඩද මං අහන්නෙ??? :)

    උදේ පාන්දර මෙව්ව දැක්කම දැන් ඉතින් ආයෙම බඩගිනියි. දැන් හොයපල්ලකො කප් කේක්!!!

    ReplyDelete
  2. // බටර් ගාල ග්‍රීස් කරපු කප් //

    එන්ජින් ඔයිල් යාන්තමට ගෑවත් කමක් නැද්ද?

    ReplyDelete
  3. හා හා පුර කියල අදයි ආවේ !
    බැරිද තැපෑලෙන් ටිකක් හදල එවන්න අපට??

    ReplyDelete
  4. @මුහුදු කොල්ලකාරයා
    කප් කේක් එකක් නෙවේ විස්සක් තිහක් උනත් කොල්ලකන එක මහ දෙයක්ද මුහුදු කොල්ලකාරයෙක්ට මං අහන්නේ? ගියේ නැද්ද අල්ලන්න පුළුවන් නැවක් හෙම ලඟින් මේ දවස්වල?

    ReplyDelete
  5. @Observer
    ආ පුළුවන් පුළුවන්...එන්ජින් ඔයිල් නැත්තනම් ඔබී නැන්දගේ හෙයා ඔයිල් උනත් කමක් නැහැ :D

    ReplyDelete
  6. @Nuwan Tharaka
    සාදරයෙන් පිලිගන්නවා එහෙනම් :) ...තැපෑලෙන් එව්වම ඔයා කන්න කලින් පුස් ඔක්කොම කාල තියේවි!!

    ReplyDelete
  7. බොරුවට පොෂ් නමක් දැම්මට මේ ඉස්පංචි වලටද කප් කේක් කියන්නේ
    මන් ඒක දන්නේ අද :-)

    ReplyDelete
  8. ඉස්සර [රජ කාලෙ] ඕවට කිව්වෙ 'ස්පොන්ජ් කේක් ' කියල, ඒකෙනුයි ඔය 'ඉස්පංචි' කියන නම හැදිල තියෙන්නෙ.
    ඩේවිඩ් = දාවිත්
    ඒබ්‍රහම් = අබරන්
    විලියම් = විලියොන්
    කියල හැදිල තියෙනව වගේ.

    ReplyDelete
  9. @ම
    ඔව් කප්කෙක් ම තමා ස්පන්චි කියන්නේ. හැබැයි ලංකාවේ මම දැකල තියෙන්නේ ප්ලේන් ස්පන්චි විතරයි. අතරින් පතර ෆ්රුට් ඇන්ඩ් නට් දාපු එව්වා ඇරෙන්න. උඩ අයිසින් දාන්නෙත් නැහැ.
    නම මොනා උනත් රහනේ වැදගත් නේද.

    ReplyDelete
  10. @Observer
    අන්න බලන්න ඔබා මාමගේ වටිනාකම. ඔය එක්දාස් අටසිය බර ගණන් වල කතා අහගන්න ඔබා මාමගේ වයසේ කෙනෙක්ම ඕනේ ඉතින්. :D

    ReplyDelete
  11. යාලු, ක්‍රීම් ඔෆ් ටාටා දාන එකෙන් මොකද්ද වෙන්නේ??ඒකේ වැදගත්කම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කේක් එක සිනිඳු සහ තෙත ගතිය වෙනවා කියල තමයි ඉගෙන ගත්තේ. කප් කේක් පට ගාල වේලෙන්න බලනවනේ (නෝමල් කේක් වලට වඩා ඉක්මනට)

      Delete

Post a Comment