Skip to main content

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි.

හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ...

කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.

 ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් අඳුන ගෙන, පුංචි තැනකින් ඈ ගාවට ආපු මම ඒ අවුරුද්ද අන්තිමේදී පන්තියේ පලවනිය වෙද්දී, ඈ මා ගැන ආඩම්බර වෙනවා කියල මට දැනුනා.

එදා ඉඳල අවුරුදු 8 ක් ම ඈ ළඟ ඉඳන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ පොතේ පතේ දැනුම විතරක් නම් නෙවෙයි.

මහ බැංකුවේ බෝම්බෙ පුපුරන සද්දේ ඈ තුරුලේ හිටි අපට ඇහුන විතරක් නෙවෙයි. කළු පාටින් උඩට ගිය දුම් කන්දත් පිට්ටනියේ හිටිය අපි දැක්ක. ගුරු දෙගුරු දිනයක් වෙච්ච එදා එක තාත්ත කෙනෙක් ආව ලේ ගෑවිච්ච කමිසේ පිටින්. ඒ කරුම දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ.

උදේට සේපාලිකා මල් අහුලන්න, හොරෙන් අඹ කඩන්න, බෝධිය අමදින්න, කම්මැලි හිතුනම ඇසෙම්බ්ලි නොගිහින් රෝන්දේ ගහන්න, හෝම්වර්ක් කරේ නැතුව පන්ති කට් කරන්න, හෝල් එකේ කළුවර කාමරේ ඉඳන් භූතයෝ ගෙන්වන්න, කොරිඩෝ වල ඇවිද ඇවිද ඉඳල මිස් එනකොට ලැබ් එකේ මේස යට හැංගෙන්න, ඉන්ටවල් එක එන්නත් කලින් කෑම එක යාලුවෝ එක්ක ඉවර කරන්න, කොයිවෙලෙත් කඩන් වැටෙන ළමා සාරි ඇඳන් වෙසක් පෝයට වජිරාරාමේ සිල් ගන්න, වෙසක් කුඩු තරඟෙට අතේ හම යනකම් කැටයම් කපන්න, අවුරුදු පොලට ඇවිත් මුකුළු කරන්න, ස්පෝට් මීට් ඉවර වෙලා පිස්සු ඩබල් වෙච්චි ගානට ග්‍රවුන්ඩ් එකේ නටන්න, කොච්චර විකාර කර කර හිටියත් මිස් පන්තියට එනකොට නැගිටලා 'ආයුබෝවන් ගුරු මෑණියනි' කියන්න, පන්තියේ දොරේ යතුර නැති කරන් කට්ටියම එකතු වෙලා දොරට පයින් ගහල දොර කඩල ඊට පස්සේ බැනුම් අහන්න, කපුටෝ පරෙවියෝ එලවන්න කෑ ගහල පන්ති පිටින් පනිෂ් වෙන්න, නිවාඩු දෙන දවසේ ක්ලාස් පාටි දාන්න, ඒවගේදී 'ආ...ආ <සහෝදර පාසලක නමක්> පරිප්පු' සින්දුව කියන්න, වාර විභාගෙදි සිංහල දවසේ වැරදිලා සමාජ අධ්‍යනය පාඩම් කරන් යන්න, මිස් උගන්නද්දී හොරෙන් ඩෙස්ක් එක යට තියන් නව කතා කියවන්න, ප්රිෆෙක්ට් අක්කල එක්ක රණ්ඩු වෙන්න, හේතුවක් නැතුව මහා හයියෙන් හිනා වෙන්න, යාලුවෝ එක්ක බොරුවට තරහ වෙන්න, කෙමිස්ට්‍රි පීරියඩ් එකේදී විලම්බීත බලන්න මිස්ගෙන් පර්මිෂන් ගන්න, ...

මේ හැම දෙයක්ම ආයෙත් කරන්න ඈ ගාවට දුවල යන්න හිතෙනවා මට වෙලාවකට.
ඒත් ඈ අපට කියල දුන්නේ යතාර්තයට මුහුණ දෙන්න, ජීවිතයෙන් ජය ලබන්න මිසක්, ප්‍රශ්නවලින් පැනල යන්න නෙවෙයි.


මීට අවුරුදු දෙදහකට එහා බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටිය උතුම් ළඳකගේ ආදර්ශෙන්, ප්‍රඥාවෙන් පිරිසිඳු වෙන්න  කියලයි ඈ නිතරම ඔවදන් දුන්නේ.

ඉතින් මගේ ආදරබර පාසල් අම්මේ, මං වාගේම දුවල ගොඩාරියක් මට කලින් හිටියා වගේම මට පස්සෙත් ඉඳීවි සිය දාස් ගානින්. ඒ හැම දියණි කෙනෙක්ම ඔබේ දියණි යක් කියල අභිමානයෙන් කියනවා වගේම, ඔබටත් ඒ දියණි යන් ඔබේ දියණියන් වීම ගැන ආඩම්බරෙන් හිටින්න පුළුවන් වේවා කියලා මම පතනවා!

අම්මේ ඔබට සුභ උපන් දිනක් වේවා! දීර්ඝායුෂ ලැබ තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹේවා!

Comments

  1. අපේ සාර්ථකත්වයට පාසලෙන් දෙන අත්වල කියල නිමකරන්න බෑ!
    අක්කගේ ඉස්කෝලේ නමත් කිව්වනම් හොදයි නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඉස්කෝලෙන් ලැබුණු ලොකුම දෙයක් තමයි මට ලැබුණු යාලුවෝ. අදටත් ඒ යාළුකම් තියෙනවා..

      Delete
  2. ඉස්කෝලෙ නම නොකිව්වෙ අමතක වෙලාද? හිතාමතා ද?

    ReplyDelete
    Replies
    1. පොඩි ඉඟියක් දීල තියෙනවනේද ඔබා අන්කල්?:pp

      Delete
    2. මුලින් හිතට ආව දේ ලියාගෙන ගිහින් බැලූ කොට නම ලියවිලා නැහැ. මට නම දාන තැනක් හිතා ගන්නත් බැරි උනා. ඉතින් ඒ පාර ඔන්න ඔහොමම තිබ්බ. :)

      Delete
  3. ඉස්කෝලෙ නම කියලනෙ තියෙන්නෙ. ඔච්චරම ටියුබ් ලයිට්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ ඉතින්... සමහර විට කොළඹින් පිට ඉස්කෝලෙකට ගිය කෙනෙක්ට වගේ නම් තේරෙන්නේ නැති වෙයි මේ මොන ඉස්කෝලේද කියල

      Delete
  4. ඕගොල්ලන්ගෙ ගේට් එකේ හිටපු අර වයසක අන්කලුත් තාම ඉන්නවද ඈ?? :D :D

    ReplyDelete
    Replies
    1. ආ එයාද...ඔයා ඔය ගේට්ටුව පනින්න ගිහින් එහෙම එයාට අහුවෙලා නෑනේ? :D
      ඔයා මොන ඉස්කෝලේද මන්දා - හැබැයි දවසක් එයාව එක්තරා ඉස්කෝල දෙකක් එකතුවෙලා උස්සල බේරේ වැවේ දාල තිබ්බ :D :D

      Delete
  5. හැම කෙනෙකුටම වගේ තමන්ගේ පාසල වටිනවා.මට වගේම ඔබටත් එසේමයි නේ.

    ReplyDelete
  6. ආ..ආ පරිප්පු..? (පොඩ්ඩක් දැනෙනවා වගේ) :D
    අපේ කාලේ වගේ..? ;)
    මමත් ඒ සහෝදර පාසලේම තමා..! :)

    ReplyDelete
    Replies
    1. ආහා ? එහෙනම් අප්‍රමාදව වැඩ කරන කෙනෙක් ?:D
      අඳුන ගැනීම සන්තෝසයක් :D :D

      Delete
  7. ඔක්කෝම හොඳයි ඉස්කෝලෙ හෝල් එකේ නම නෝනා ගෙ නමින් [සෙලෙස්තිනා] තිබුණා නම් තවත් හොඳයි. එවුන්දෑ නොවෙන්ඩ ඔය මොකුත් නෑ. එහෙමයි අපේ ගෙදර උන්දෑ කියන්නේ...!
    http://www.rasawathiya.blogspot.com/2011/07/blog-post.html [මේ ඒ ශාලාවේ මතක සටහනක්.]

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. ඔයා කියන කම් සෙලෙස්තිනා කියන්නේ ජෙරමියස් දියෙස් මැතිනියගේ මුල් නම කියල මටත් අමතක වෙලා තිබ්බේ. සමහර විට සෙලෙස්තිනා කියල දාන එක ඒ කාලේ හැටියට ඉන්ෆොමල් වගේ නිසාද දන්නේ නැහැ සැමියාගේ නමින් 'මැතිනිය' කියල හැම තැනම වගේ සඳහන් වෙන්නේ.
      හැබැයි ඉතින් එතුමිය ට අයිති ගරු සැලකිල්ල නම් කරනවා. හැම අවුරුද්දෙම එතුමිය වෙනුවෙන් දානයක් එහෙමත් දෙනවා...

      Delete
  8. සෙලෙස්තිනා කියන්නේ සෙලෙස්ටීන් කියන නමේ සිංහල [පෘතුගීසි] ඌරුව. ඒ කියන්නේ දිව්‍යමය, ස්වර්ගමය කියන එක. ඒක වඩා ගැලපෙනවා නේද?

    ReplyDelete

Post a Comment