Pages

Tuesday, February 17, 2015

මගේ එළවලු පලතුරු ඩයට්

අරහේ රසිකොලොජිස්ට් එළවලු පලතුරු ඩයට් ගැන ලියල. ගිය සතියේ මාත් ඔහොම එකක් කරල කිලෝ දෙකක් අඩු කර ගත්ත නිසා මටත් ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.

මම් තුමිය ඉස්සර නම් සෑහෙන්න කෙට්ටුවට හිටියේ. 
ඔන්න එක පාරක් යාලුවෙක්ගෙ තාත්තා අසනීප වෙලා ඒ අන්කල් බලන්න ගෙදර ගියා මායි යාලුවෝ දෙන්නෙකුයි. යද්දී අංකල්, පුතා (අපේ යාලුවා) එක්ක කොහෙද ගිහිං. ඉතින් අපි අරන් ගිය ඔය ඇපල් පැපොල් (ලංකාවේ අසනීප කාරයෝ බලන්න යද්දී ඒවනේ අරන් යන්නේ) ටික ආන්ටි ට (යාළුවගේ අම්මට) දීල ආව. ඔන්න පහුවදා කැම්පස් එකේදී යාලුවා හම්බුණාම මිනිහ මට කියනවා ආන්ටි කිව්වලු 'අනේ අර හරිම කෙට්ටු ගෑණු ළමයෙක් ඇවිදින් පලතුරු වගයක් දීල ගියාය, ඒ ළමය දැක්කම මට පලතුරු ටික ඒ ළමයටම කාල පොඩ්ඩක් පණ ඇතිව මහතට ඉන්ඩ කියන්න හිතුනය කියල'. නෝන්ඩි සාගරේ ඉතිං.

දැන් මම මේ රටට ඇවිදිනුත් ඉන්න කොට, මෙහෙ අංකල්ල ආන්ටිල අපේ ගෙදරට ස්කයිප් ටෙලිෆෝන් මගුල් වලින් කෝල් දිදී කියල 'අනේ ඔයාලගේ දූ හරි කෙට්ටුයි' කියල. ඕනේ නැති එකක් නෑනේ ඉතින් කට්ටියට. නිවාඩුව ට ලංකාවට ගිය හැටියේ අම්මයි තාත්තයි ඉතින් වැඩේ මාව මහත් කරලා ගන්න ලොකු ට්‍රයි එකක්. අම්මේ උදේටත් කිරි තේ හවසටත් කිරි   තේ ආයේ නිදාගන්න කලින් මයිලෝ. බත් දෙනවා නිකන් කොත වගේ. ඒ මදිවට එක්කන් ගියේ නැද්ද දොස්තර කෙනෙක් ළඟට. මාර ලැජ්ජාව. දොස්තර බර මැනලා උස මැනලා කිව්වා BMI එක අනුව මේ ළමය හොඳ නිරෝගීයි කියල. 

කොහොම හරි ඉතින්, ඔහොම හිටියට, ගිය අවුරුද්දේ නම් නොසැහෙන්න බර වැඩි උනා පශ්චාත් කුපාඩි යේ නිබන්ධනය ලියන කාලේ. එක තැනම ඉඳගෙන ඔහේ ටයිප් කරන එක විතරයි නේ. ඒ මදිවට ඕක ලියනකොට මට එක එක දේවල් කන්න දොළ දුක් පහල උනා. ඒවත් කිසි දෙයක් මේ හෙල්ති ඒවා නෙමෙයි. චොකලට්, චිප්ස්, කේක්, මෆින්, පීට්සා ... ඔන්න ඔය වගේ දේවල්. ඔය දවස්වල මම සිංහල කඩේන් මැලිබන් චොකලට් බිස්කට් පැකට් අරන් ඇවිත් සතියෙන් 500 g ඉවරයි. ඒකත් මමම කාල.

දැන් ඉතින් කාපු බර අහක් කර ගන්නත් ඕනේ නේ. ගිය සතියේ නිකමට හිතුන පොඩ්ඩක් ඩයට් කරලා බලන්න. කට්ටිය නම් එක එක ඩයට් ප්ලෑන් දුන්නා : GM Motors diet කියයි, sacred heart hospital diet කියයි...ඒවා බැලුවම සතියක් විතර කරන්න ඕනේ...එකක දවසටම කිරි යි කෙසෙලු යි විතරයි. තව එහෙක සුප් විතරයි. හෙන අවුල්. පස්සේ හම්බුණා මෙන්න මේක:

ඕකේ තියෙන්නේ සාමාන්‍යයෙන් කට්ටිය කන විදිහ අනුව කොටස් 3 කට බෙදෙනවලු:
1) Feasters හෙවත් කන්න ගියාම කාගෙන කාගෙන යන අය 
2) Emotional eaters හෙවත් මූඩ් එක අනුව කන අය - ඒ කියන්නේ ස්ට්‍රෙස් වැඩි වෙන්න වෙන්න කනවා වැඩියි.
3) Constant cravers හෙවත් නිතරම අරක මේක කන අය 

ඕක පොඩ්ඩක් බැලුවම මම් තුමිය පොඩ්ඩක් ඕකේ නම්බර් 3 වගේ කියල හිතුන නිසා, මං බැලුව ඒ කට්ටියට කරන ඩයට් එක කරන්න. ඒකෙ හැටියට Constant cravers ලට දුන්නේ සතියට දවස් දෙකක් low carb diet එකක්. ඒ කිව්වේ දවස් දෙකක් පිෂ්ටය/සීනි සහිත කෑම මුකුත් බෑ. එතකොට පාන්, බත්, අර්තපල්, පැණිරස ඔක්කොම අහක් කරන්න ඕනේ. හැබැයි දවස් 2 යි. ඉතිරි දවස් 5 සාමාන්‍ය විදිහට. 
ඔය ඩයට් එක නම් කරන්න ලේසියි (දවස් 2 යි නේ) කියල හිතුන නිසා ඔන්න මාත් ගිය සතියේ දවස් දෙකක් ලෝ කාර්බ් උනා.
මෙන්න මගේ කෑම:

පළවෙනි දවස - 

රාත්‍රී - එළවලු  olive oil එක්ක බේක් කරලා + බඩ ඉරිඟු & අස්පැරගස් තම්බල, බටර් යන්තමට ගාල + ෆෙටා චීස්
උදේ - යෝගර්ට් (මේ තියෙන්නේ මම ආසම යෝගර්ට්) + බ්ලු බෙරීස් 
දිවා - බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + ග්‍රිල් කරපු හතු සහ කැප්සිකම්  + පිපිඤ්ඤ 
හවස - සීනි නැති කිරි කෝපි + පෙයාස් ගෙඩියක් 

දෙවෙනි දවස - 

රාත්‍රී - එළවලු  සුප් (වට්ටක්කා, කැරට්, බෝංචි, ග්‍රීන් පීස්, මල්ගෝවා) එක්ක එළවලු සලාද 
උදේ - යෝගර්ට් + බ්ලු බෙරීස් 
දිවා - බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + එළවලු  olive oil එක්ක බේක් කරලා + තම්බපු කඩල චුට්ටක් 
හවස - සීනි නැති කිරි කෝපි + එප්රිකොට් ගෙඩියක්

ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.
ඉතිං පාඩු නෑනේ වැඩේ :)