Pages

Wednesday, April 16, 2014

කැවුම් කොකිස් කිරිබත් සහ හත්මාළුව සමඟ මගේ අවුරුද්ද


ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා. 

එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ  බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි  කියන බයට වෙන්න ඇති. 

හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව රිදෙනවා කිව් නිසා එක එක ටෙස්ට් කරන්න යන්න තිබුණු නිසා. මහ ඉස්පිරිතාලේ මුලින් ටික දවසක් හිටියත් එයාල ටිකට් කපලා ගෙදර එව්වා. දොස්තරලා කිව්වේ ළමයි එක්ක ඉන්ඩ, ඕනැ දෙයක් කන්ඩ කියලා. අපි හිතුවේ නැහැ කවදාවත් ආච්චි අම්මා ට ලොකු අසනීපයක් කියලා. එදා නොනගතේ වෙලාවේ පපුව රිදෙනවා කිව්වම ළඟම තිබුණු ඉස්පිරිතාලෙට එක්කන් ගියා. එතන ළඟ ඉන්න දෙන්නෙත් නෑ. අනිත් එක ආච්චි අම්මට ලොකු උවමනාවක් තිබිල තියෙනවා අම්මාව ගෙදර එවල නැකතට කිරිබත උයවන්න. කොහොම හරි ආච්චි අම්මා කියල කියලම අම්මා රෑ වෙලා ගෙදර ආවා පහුවෙනිදා උදෙන්ම කිරිබත් හදන් ඉස්පිරිතාලේ යන්ඩ හිතන්. කිරිබත් හදලා කන්න කලින් අම්මයි තාත්තයි සීයයි ඉස්පිරිතාලෙට යනකොට ආච්චි අම්මා හිටපු ඇඳ හිස්. අපිට කිරිබත් උයන්න කියලා එයා යන්නම ගිහින්...

පරණ අවුරුදු දා උණු ඒ සිද්ධිය නිසා ඉන් පසු වුනු හැම අවුරුද්දක්ම ආච්චි අම්මා නැති දුක පපුව කෙළවරක තියන් තමයි සැමරුවේ. අවුරුදු ලබන කොට අම්මා අපි හින්දා සිනාමුසු මුණින් අවුරුදු සැමරුවත් ආච්චි අම්මගේ මරණය ගැන එයාට මතක් වෙන බව මට තේරෙනවා.
අපි අපේ ආදරණීයයන් වෙනුවෙන් කෙතරම් දුක් උහුලනවද? කෙතරම් නම් දුක් හංගනවද?


ඒ කොහොම නමුත් අවුරුදු කාලෙට ගෙදර කැවිලි බැදෙන තෙල් සුවඳ පිරෙන කොට මට තවමත් අමුතු සුන්දර හැඟීමක් හිතට එනවා. ලංකාවේ නොහිටියත් බැරි බැරි ගාතේ හරි මම කොහොම හරි කිරිබතක් උයලා කැවිලි දෙක තුනක් හදන්න දත කන්නේ ඒ හන්දයි.


ලංකාවේදී නම් කැවුම් කොකිස් හදන්න අමු හාල් පිටි මෝලෙන් ගන්න එක ලේසියි. මේ පැත්තේ කොහෙද ඉතින් එහෙම කරන්නේ? මට හාල් කිලෝ ගණනින් කොටන්න සුමිට් එකක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මම කරේ සුදු කැකුළු හාල් දියේ දාලා පොඟවලා ඒක තෙත පිටින්ම මික්සර් එකෙන් අඹරල ගත්තු එක. කොකිස් වලට නම් පොල් කිරියි ඔක්කොම එකට දාල අඹරල ගත්තා. කැවුම් වලට යන්තම් වතුර චුට්ටක් දාල ගත්තා.

කොකිස් යොදා ගත්තට පස්සේ හදා ගන්න නම් ලේසියි. හැබැයි අච්චුව ඇලවෙන්න ගත්තොත් තමයි හිස රදේ. අලුත් අච්චු නම් ඇලවෙන්න බලනවා වැඩියි. කොකිස් හදන දිනේට දවස් දෙකක් විතර කලින් ඉඳන් උණු තෙල් තාච්චියක ටික ටික දාල අච්චුව පදම් කරාම ඇලවෙන්නේ නෑ කියලා අම්මා කියනවා. එහෙමත් කරලා ඇලවෙන්න ගත්තොත් කරන්න තියෙන්නේ කොකිස් මිශ්‍රණයට බිත්තරයක් දාන එක.

කැවුම් නම් මම මීට කලින් එක පාරයි හදලා තිබුනේ. මොකක් හරි හේතුවක් නිසා මට කැවුමේ බුරිය ගන්න පුළුවන්. හොඳටම ඉවුම් පිහුම් දන්නා සමහර නැන්දලා හදන කැවුම් වලටත් වඩා මම හදන කැවුම ලස්සන ය කියලා එයාලම කියනවා. ගොඩක් අයට කැවුමේ බුරිය ගන්න එක ලොකු තාක්ෂණික ප්‍රශ්නයක් උනත් අතරින් පතර මම වගේ කිසිම හැදෑරීමක් අත්දැකීමක් නැතුව  කණා ෂොට් ඒක හරි යන අයත් ඇති!


මම කැවුම් කොකිස් බදින අතරේ හබී ඇවිදින් ලොජිස්ටික්ස් මැනේජර් (එයාම තමයි ඔය තනතුර දා ගත්තේ) හැටියට වැඩ කරා. ඒ කිව්වේ බදින කැවුම් කොකිස් තෙල් බේරෙන්න පත්තර කොළ වල දාන්න, තෙල් බේරුණු ඒවා හුලන් වැදෙන්නේ නැතුව අසුරන එක වගේ දේවල්. කැවුම් සහ කොකිස් දෙකම එකින් එක බදින්න ඕනේ නිසා ගොඩක් වෙලා යනවා. පැය ගානක් ඔහොම ලිප ළඟ හිටන් ඉන්න එක හරි අමාරුයි. ඒ හන්දා එදා රෑට කෑමත් හබී තමයි ඉව්වේ. 

අවුරුදු දා කිරිබත ලිපේ තියලා කිරිබත් කන්න තව හත්මාලුවකුත් හැදුවා. ඒක ඉගෙන ගත්තේ මල්මී ට පින් සිද්ද වෙන්න. මට කොස් ඇට නැති නිසා brazil nuts සහ කිරි අල වෙනුවට මයියොක්කා ත් දැම්මා. හොඳ රසට ආවා! නමුත් brazil nuts නම් ඉව්වම ආපු රස මට එච්චර ඇල්ලුවේ නැහැ. මයියොක්කා නම් පුළුන් වගේ තැම්බුනාම ඒකෙන් හත්මාලුවට හොඳ කිරි රහක් ඇවිත් තිබුනා.


ඔන්න ඔහොම තමයි මම මේ අවුරුද්ද සැමරුවේ. අවුරුදු දා කියන්නෙත් තවත් එක දිනයක් විතරක් උනාට එහෙම එක දිනයක් විශේෂ විදියට සමරන්න මම කැමතියි. ඒකෙන් මගේ ජීවිතේට නැවුම් බවක් එකතුවෙනවා කියලා මට දැනෙනවා.

ඔයාල හැමෝන්ටමත් පතන්නේ අලුත් බලාපොරොත්තු එක්ක සුභම සුභ නව වසරක් වේවා කියලා යි! මැලේ යෙහෙළියකගේ මුණු පොතේ තිබුණු මෙන්න මේ සිතුවිල්ලෙන් සටහන ඉවර කරනවා...
පිරිසිඳු හදවතක් වෙනුවෙන් මේ වසරේ මගේ පැතුමත් මේකයි!

"when someone insults you, keep it out of your heart so it doesn't make you bitter or defensive. When someone praises you, also keep it out of your heart, so it doesn't make you arrogant and self-deluded. When you face hardship and stress, don't absorb it in your heart, so you don't become hopeless and overwhelmed. Instead keep it in your hands and realize that everything passes..." ― Yasmin Mogahed