Pages

Monday, November 25, 2013

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය!
මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි.

එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය...
දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය...

අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය.

උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය.
ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි.

ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය.
ඒ ඉස්තෝප්පුවේ කෙතරම් මතක සැඟවී ඇතිද?!

ඉතාම කුඩා කාලයේ දිනක අම්මා මට සුදු රට හුණු කූරක් දී ඉස්තෝප්පු බිම චිත්‍ර අඳින්නට කියා දුන්නේ ලු. එදා පටන් බොහෝ වාරයක් මා ඒ දිගු ඉස්තෝප්පුව දිගට පැය ගණන් සතුටින් බලි කුරුටු ඇන්දාලු!
සවස් වන විට අම්මා තෙත රෙදි කඩක් ගන්නේ මගේ කැන්වසය මකා දමන්නය. එහෙත් චිත්‍ර මැකුවාට මම දුක්වූ බවක් මතක නැත. ඊළඟ උදයේ නැවතත් මම ඉස්තෝප්පු බිම රට හුණු චිත්‍ර වලින් පුරවන නිසා විය හැකිය.

සිංහල අවුරුද්දට නෑදෑ පිරිස කාඩ් සෙල්ලම් කරන්නට රැස් වුයේ ද ඒ ඉස්තෝප්පුවේ ය. තිස් එක, ඕමි, තුන්සිය හතර, පමණක් නොව සල්ලි වලටත් නැන්දලා මාමලා ආච්චිලා සීයලා සෙල්ලම් කලේ එහි තබා තුබුණු වේවැල් පුටු සහ අයිනේ සිමෙන්ති ගැට්ටේ හිඳ ගෙනය. 'බෑන්ක්ස්‌' කියා හැඳින්වුණු සෙල්ලමකදී මම සත පනහේ කාසියක් තාත්තාගෙන් ඉල්ලා ගෙන රුපියල පහක් දිනුවේ එවන් අවුරුදු දිනක දීය.

ආච්චි අම්මාගේ හත් දවසේ දානය දා පැන් වැඩුවේ ද මේ ඉස්තෝප්පු කොනක හිඳ ය.
එයින් පසු එළඹුණු අවුරුදු දින වල කාඩ් සෙල්ලම් කරන්නට වත්, නිවස පිටුපස මිදුලේ තැනු දර ලිපේ කළු දොදොල් හදන්නට වත්, ඒ හැදෙන දොදොල් වලින් පෑදුනු තෙල් වලින් කැවුම් බදින්නට වත් කවුරුත් ඒ ගෙදර සිටියේ නැත.

ආච්චි අම්මා සහ සීයා ගේ චිතක දල්වා බොහෝ කල් ගෙවී ගොසිණි.

එහෙත් තවම ඔවුන් මිය ගොස් නැතැයි මට විටෙක සිතේ. අඹ පලුවක, දෙළුම් ගෙඩියක මතුවන ඇඹුල් පැණි රස මතක අතරින් ඔවුන් දෙදෙනා මා හද කොනක තවමත් ජීවමානව සිටී...