ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය! මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි. එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය. උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය. ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි. ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය. ඒ ඉස්තෝප්පුවේ...
Just some random arrows of thought...