Skip to main content

Posts

ගිම්හානයේ අග රන්වන් දින

මේ ගෙවෙන්නේ ගිම්හානයේ අග කොටස.  පසු ගිය සතියේ ඉතාම තද රස්නයක් තිබුණු සතියක්... නිවෙස් වල වායු සමීකරණය නැතිව ඉන්න බැරි තරම්.  ජනවාරි 25 සවස අපි පවුලම - දෙන්නෙක් වැඩ ඉවර වෙලා, එක්කෙනෙක් එයාගේ පෙර පාසල ඉවර වෙලා - ගෙදර එද්දී හයහමාර පහු වෙලා. සවස් උනත් ඉර එළිය හොඳට ... මේ දවස් වල රැ නවයට ත් එළියයි නේ.  ජනවාරි 26 බදාදා  ඕස්ට්‍රේලියානු දිනය  අපේ නිවාඩු දිනයක්. ඉතින් අපි 25 සවස ගෙදර ඇවිත් රෑ කෑම හදන අතරේ කතා කරේ පස්සෙන්දා මොකද කරන්නේ - කොහෙද යන්නේ කියලා. මේ දවස් වල ඔමික්රෝන් උවදුර  නිසා පරිස්සමෙන් යන්නත් ඕනේ.  ඒ අතරේ ඇමතුමක් ආව යාලුවෙක් ගෙන් - යෝජනාවක් ආවා වෙරළ ට යන්න - පස්සෙන්ද නෙමෙයි - එදා ම - එවෙලේම! යුද්ධයක් කරලා පොඩි මෑන් ට ත් පොඩ්ඩක් කවාගෙන, පිහිනුම් ඇඳුම් ඔක්කොමත් අරන් ගියා! එදා අපි ගියේ Seaford. මුහුදට බහින කොටත් රෑ 9 ට කිට්ටු යි ! දවසෙම රත් වෙලා ඉඳලා මුහුද ට බැස්සම හරිම සනීපයක් දැනුනේ ... ගිම්හාන කාලේ නිසා රෑ උනත් වතුර උණුසුම්. පැයක පමණ වතුරේ ඉඳලා තමයි අපි එදා ගෙදර ආවේ. ඒ...

අරුම පුදුම වෙද නලාව!

මගේ අවුරුදු දෙක හමාරේ පුතුට ඊයේ doctor කිට් එකක් තෑගි ලැබුණා. ඉතින් ඒකෙ තියෙන සෙල්ලම් වෙද නලාව කනේ ගහන් එයා 'doctor' වෙලා.  මේ වයසේ දී පොඩ්ඩන් ට role play සෙල්ලම් ගොඩක් වැදගත් බව සහ, ඒවා වලට වැඩිහිටි අය අවම වශයෙන් මැදිහත් වෙන තරමට හොඳ බව මම ළගකදී කියෙව්වා. ඒකට හේතුව විදියට තිබුනේ වැඩිහිටි අපි නිතරම හිතන්නේ කොටුවක් ඇතුලේ, නැත්නම් පුංචි රාමුවක් ඇතුලේ. ඒත් පොඩ්ඩන්ගේ පරිකල්පනයේ රාමු ඊට වඩා ගොඩක් ලොකු දුරකට විහිදිලා තියෙන්නේ. අපි එයාලගේ සෙල්ලම් ගෙවල් අස්සට ගිහින් ඒවා ට උපදෙස් දෙන්න ගියාම එයාල නිකම්ම අපේ රාමුවට කොටු වෙන බව තමයි ඒ ලිපියේ තබුනේ. Photo by  Patty Brito  on  Unsplash ඉතින් මම පුතුට doctor චරිතය දීල, වෙද නලාව කනේ පැළඳ ගන්න හැටි සහ ලෙඩ උන කෙනාගේ පපුව ට ඒක තියල ලප් ඩප් සද්දේ අහන්න කියල කියා දීල පැත්තකට වෙලා හිටිය.  doctor ළගට යන්නේ ලෙඩ උනාම කියල එයා දන්නවා. හැබැයි පහුගිය අවුරුද්දේ corona නිසා වැඩිපුර තිබුනේ video call හෝ voice call හරහා doctor appointments. මම හිතන්නේ එයා වෙද නලාව ඇත්තටම පාවිච්චි වෙන හැටි දැකල ඇත්තේ ලගකදී නම් සැරයක් හෝ දෙසැරයක්.  ඔන්න ඉත...

ක්ෂීර ජීවියාගේ විත්ති - ඇරඹුම

මේ දිනවල බ්ලොග් ලියන්නට කියවන්නට මේකේ අයිතිකාරයාට වගතුවක් නැත. මුළු ගෙදරම තියෙන්නේ අලුත සම්ප්‍රප්පාප්ත වූ ක්ෂීර ජීවියාගේ අණසක යටතේය. ඔහුට ඕනෑ විදිහට නටන්නට මේකේ අයිතිකාරයාට විතරක් නොව ගෙදරට පය තබන හැමෝන්ටම සිදුවන්නේය. නමින් ක්ෂීර ජීවියා උනත් කිරි බීමට ඔහු ඉතා අලසය. සැබවින්ම කිරි බීම හැරෙන්නට අනික් සියලු දේ සඳහා ඔහුට මනා උනන්දුවක් ඇත. කිරි බොන අතරේ සිනාසීම, කතා කිරීම, අවට සද්ද බද්ද ගැන විපරම් කිරීම, හතර වටේ කරකැවීම ආදී බොහෝ රාජකාරි ඔහුට ඇත. එළියට එන්නට පෙර ඇතුළේ හිඳිද්දීත් ක්ෂීර ජීවියා වැඩ කලේ ඔහුට ඕනෑ විදියටම පමණක් විය. ඒ නිසා සාමාන්‍ය ක්ෂීර ජීවින් ගේ හැසිරීම අනුව ලියවුනු පත පොත අනුව හැසිරෙන්නට ඔහුට කිසි උවමනාවක් නොවීය. එළියට එන්නට නියමිත දින ලංවෙද්දි ඔහුට ඔලුව පහළට දමාගෙන එක විදිහකට හිටියේ නැත. විටෙක හරහටත්, විටෙක උඩටත් එහෙට මෙහෙට හැරීම ඔහුගේ සිරිත විය. නර්ස් නැන්දලා විසින් ඔහු උපත ලද පසු ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වනු ඇතැයි අනාවැකි ද කීවෝය.  අන්තිමේදී ඩොක්ටර් මාමා විසින් ක්ෂීර ජීවියාව අල්ලා බලෙන් ඔලුව පහළට හරවන ලද්දේ මේ විපරියාස බලන් ඉන්නට බැරි තැනය!  ක්ෂීර ජීවියා වැඩ ක...

ගැහැණුන්ද මනුෂ්‍යයෝ ය!

අද උදේම මම වත්පොතේ  පිරිමි ලියපු ගෑණු සින්දු  නම් මේ අනර්ඝ රංගනය දුටිමි. සිනහාව නවතා ගන්නට බැරිවිය! කොතෙක් රසවත්ද නම්, සැමියාත් මමත් උදේ රැකියාවට යන්නට ලැහැස්ති වෙන හදිසියේ රන් හා සමාන කාලයෙන් විනාඩි 6 තත්පර 18 ම මේ ගායනය සහ රංගනය රස විඳින්නට වැය කළෙමු! මේ රංගනයේ අසන්නේ ගුත්තිලයේ පටන් අනන්තයට යන පාර තෙක් කොතෙකුත් (බහුතරයක්?) ගීත ලියවෙන්නේ පිරිමි විසින් ගැහැණු ගැන වන්නේ ඇයි කියාය... මෙය මටත් පොඩි කාලේ තිබුණු ප්‍රශ්නයකි! ගැහැණුන්ගේ ඇස්, කන්, නාසා, කොණ්ඩය සිට ඔවුන් ඇවිදින විදිය, කන බොන විදිය ආදී කී නොකී හැම දෙයක් ගැනම වර්ණනා කරන්නේ පිරිමි ය. ඒ උනත් ඒකෙ අනික් පැත්ත - එනම් පිරිමි ගැන - එසේ ගැහැණුන් ගේ හඬින් නෑසෙන තරම් ය. හැට හතර මායම ඇත්තේත් ගැහැණුන්ට පමණි. ගැහැණුන්ගේ ඇඳුම ගැනත් වාද කරන්නේ පිරිමි ය. මල්ලේ පොල් වගේ යයි ඔබට සිතෙන්නට පුළුවන් නමුත්, මීට අදාළ යයි මට සිතෙන කතාවක් පහත දක්වමි: - මගේ (පිරිමි) මිතුරෙකු වරක් කියා සිටියේ ඔහුගේ අම්මා කලිසම් ඇඳීමට ඔහු විරුද්ධ බවත් ඔහු සමඟ ගමන් යන විට සාරි හෝ සාය ගවුම් ඇඳ එන ලෙස ඇයට කියන බවය. එහෙත් ඔහුගේ පෙම්වතිය කලිසම් ඇඳීම ගැන ඔහුට ...

නිදි ගෝල කතා වස්තුව

විශ්ව විද්‍යාලයේ අලුත් අධ්‍යයන වාරය පටන් අරන්. එදා පළවෙනි දවස.  මගේ විෂය උනත් එදා පළවෙනි දේශනය නිසා මායි තව කථිකාචාර්ය කෙනෙකුයි දෙන්නෙක්ම ගියා පන්තියට. අනිත් කථිකාචාර්ය තමයි උපාධි සම්බන්ධීකාරක. ඉතින් ඔහුට ඕන වෙලා තිබ්බේ උපාධිය ගැන පොඩි හැඳින්වීමක් කරන්න මුලින්ම. මම ළමයින්ට මාව හඳුන්වා දුන්න විෂයේ කථිකාචාර්ය හැටියට. මිතුරු කථිකාචාර්යත් හඳුන්වල දීල එයාට දේශනයේ මුල් භාගේ බාර දීල මම පැත්තකට උනා.... විනාඩි දහයක්-පහළොවක් යන කොට ඔන්න ළමයෙක් ආවා පන්තියට. ඇවිත් ඉස්සරහ පේළියේම වාඩි උනා. ඔන්න තව විනාඩි දහයක් යනකොට පොර හොඳට අසුනේ දිග ඇදුනා...ඇස් දෙක පියාගත්තා...ඔන්න ඉතින් ළමයා නිදි! [අපිටත් ඉස්සර දේශන වල නින්ද ගිහින් තියෙනවා තමයි...හැබැයි ඉතින් නිදා ගෙන නම් නෑ...නිදි කිරා වැටුනා මිසක්!] මටයි මිතුරු කථිකාචාර්යටයි හිනා යන්න ආවත් අමාරුවෙන් හිටියා හිනා නොවී. ඉතින් ඔන්න ඔහුගේ කොටස ඉවර වෙලා ඔහු ගියා...ළමයා තාම නිදි...ඉතින් දෙවන අර්ධය මම පටන් ගත්තා...ළමයි අතරමග ප්‍රශ්න අහනවා. මම ඒවාට උත්තර දෙනවා. දේශනයේ පැය දෙක ඉවර වෙන්න ලං වෙලා දැන්...දේශනය පැහැදිලි කරලා මම දැන් ප්‍රශ්න අහනවා. ඔන්න නිදි ළමය...

ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයට

මේ ලිපිය ඕස්ට්‍රේලියාවේ පරිගණක අංශයෙන් ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයටයි.  මේ දවස්වල පර්යේෂණ වලට ප්‍රතිපාදන ලැබෙන අංශ අතරේ, Data Science සහ IoT තියෙන්නේ ඉදිරියෙන්. මම පර්යේෂණය කරන්නේ වැඩියෙන්ම IoT සහ ඔය දෙකේ ඡේදන කුලකයේ. මේ දිනවල ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලැබෙමින් පවතින නිසා මම සේවය කරන විශ්ව විද්‍යාලයේ, දක්ෂ ආචාර්ය උපාධි සිසුන්ට අවස්ථා තියෙනවා. මේ අංශ වලින් ආචාර්ය උපාධි කරන්න කැමැත්තක් තියෙනවා නම් හෝ කැමැත්තෙන් ඉන්න කෙනෙක් දන්නවා නම්, මෙන්න මේ ලින්ක් එකෙන්  මට  දැනගන්න සලස්වන්න.  හැබැයි ශිෂ්‍යත්ව සඳහා මෙන්න මේ අවම සුදුසුකම් ඕනේ: - පරිගණක විද්‍යා/ඉන්ජිනේරු අංශයේ අවුරුදු 4 ක උපාධියක්. තනි පර්යේෂණ ව්‍යාපෘතියක් තියෙන්න ඕනේ. පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. - පර්යේෂණ ප්‍රකාශන එකක් හෝ ඕනේ. ඔයිට අමතරව ආචාර්ය උපාධි කරන්න කලින් හිතන්න දේවල්: - කරන පර්යේෂණයට ලොකු 'උණක්' තියෙන්න ඕනේ. - තනියම දේවල් හොයා ගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. - ඉංග්‍රීසි ලිවීම සහ කියවීම හොඳින් පුහුණු වෙලා තියෙන්න ඕනේ. - අවුරුදු 3-4 වැය කරන්න සුදානම් වන්න (මේ න...

ගිගුරුම් සහිත ඇදුම කුණාටු!

සඳුදා මෙල්බන් නුවර අපිට රස්නේ දවසක්. දවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 යි. හැබැයි හවස් වෙනකොට කුණාටුවක් එනවා කියල කාලගුණෙන් කියලා තිබුනේ.  එදා මම වැඩ ඉවර වෙලා යන ගමන් පුස්තකාලයට ගොඩ වැදුනේ කියවන්න නවකතාවක් ගන්න. එතකොට හවස 5.30 ට විතර. පොත අරන් වාහනේට නගින්න ඇවිදන් එනකොට දූවිලි හුළඟක් හමාගෙන ගියා සැරට. පොද වැහෙන්න අරං. ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ මම...ඇත්තටම කුණාටුව එන එකට සතුටෙන් හිටියේ. මොකද එළියේ හෝ ගාල වහින කොට ගෙයි සැප පුටුවක වාඩි වෙලා උණු තේ බිබී මම පුස්තකාලෙන් ගත්ත පොත කියවන්න යි මගේ ප්ලෑන් එක තිබුනේ. ගෙදර ගිහින් රෑ 8 විතර වෙනකොට පොඩ්ඩක් උගුර රිදෙන ගතියක් දැනුණා. අවුලක් නෑ - සැරට පරිප්පු හොද්දක් එක්ක ඉඳි ආප්ප මුලකට වැඩේ දුන්නා.  ප.ව 9:  වේලිච්ච කැස්සක් පටන් ගත්තා. ඊට සතියකට කලින් සෙම හැදිලා හොඳ උනා විතරයි. ආයෙත් මොන වදයක් ද මේ කැස්ස කියලා හිතෙන බැන බැන ටීවී බල බලා හිටියා. උගුර රිදෙන එකයි කැස්සයි එන්න එන්න වැඩිවෙනවා...  ප.ව 10:  මහත්තයා මී පැණි, ඉඟුරු එක්ක තේ හදලා දුන්නා... ඒකටත් අඩුවක් නැහැ!  ප.ව 10.30 :  නිදාගන්න ගියා. ඇල උනාම කැස්ස තවත් වැඩ...

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන...

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ ව...

කිරි ලුණු රසයිද?

මෙල්බන් තුරඟ තරඟ නිසා දිග සති අන්තයක් ලැබුනා. අපි ඒ නිවාඩුවට වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසර පැත්තකට ගියා. ඒ පැත්තේ තියෙනවා විල්සන්ස් ප්‍රොම් කියන රක්ෂිත වනෝද්‍යානය. නැවතුනේ කිරි ගොවිපොළක. අක්කර 1140 ක්. ඒකෙ අයිතිකාරි හරිම ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි, අවුරුදු 60 ක විතර ඕස්ට්‍රේලියානු ගැමි කාන්තාවක්.  ඇය කිව්වේ ඈ ඒ වගේ ගොවිපොළකම ඉපදිලා ජීවිතේම පිටිසර ගත කල බවත්, නගරෙට යන්න කිසි කැමැත්තක් නැති බවත්. එයා ට දූ ල තුනයි එක පුතයි. ළමයි හතර දෙනාටම ඒ වගේ විසාල ගොවි පොළවල් හතරක්. ඒ හැම එකක්ම බැංකු ණය අරං බිංදුවෙන් පටන් ගත් ඒවා. ඇගේ ගොවිපොලත් සැමියා එක්ක පටන් අරන් තියෙන්නේ අක්කර 100 න්... එයාම ඉදිරිපත් වෙලා අපිව එයාගේ වත්තෙයි ගොවිපොලෙයි එක්කන් ගියා.  වත්තේ ඇවිදින ගමන් පලතුරු කඩ කඩා කන්නට දුන්නා. ගෙදර එනකොට කලින්දා දාපු බිත්තරත්, එවෙලේම කපපු එළවලුත්, එයා ගේ 'හෝම් මේඩ්' රුබාබ් ෂැම්පේන් බෝතලේකුත් තෑගී දුන්නා. ඇත්තටම තව මොනවා හරි ඕනෙද කියලත් පෙරැත්ත කරමින් ඇහුවත්, ඇයගේ ත්‍යාගශීලී ගුණය exploit කරන්න අපිට හිතුනේ නැහැ. මේ හැම දේකින්ම මට පෙනුනේ ඈ මහන්සි වෙලා වැඩ කරන, කාරුණික කාන්තාව...

වසන්ත අකරතැබ්බ - මල් වලට වෙඩි තියමු!

මේ දවස්වල අපි ඉන්න පැත්තට වසන්තය ලබලා. වසන්ත කාලෙට මල් පිපිලා ගස් වල දළු දාල එනවා කියල හැමෝම දන්නවනේ. ලංකාවේ සමහර කට්ටිය හිතන් ඉන්නේ මෙල්බන් කිව්වාම කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් මෙහෙ ගස් වැල්, වන සතුන් ගෙන් පිරිලා. මේ අතීතයේ හෙළයන් විසින් මෙල්බන් හි ගොඩනැගු සිරිසඟබෝ ප්‍රතිමාවක් ... නොවේ.   ගස් වැල්, උද්‍යාන තියෙන එක හරිම හොඳ දෙයක් උනාට, පරාග අසාත්මිකතා තියෙන අන්ත අසරණ කට්ටියට නම් වසන්ත කාලෙට ඒ ගස් වැල්, උයන් වලින් හරිම අපලයි. වසන්තයේ තණකොළ කපන සුවඳ එනකොටම පරාග අසාත්මිකතා කාරයන්ට වැඩේ සෙට් වෙනවා. හචිස් හචිස්! ඇස් රතු වෙනවා. කඳුළු පිරෙනවා. උගුර රිදෙන්න ගන්නවා. දවස් දෙකකින් ටිෂු පෙට්ටිය ඉවරයි. ඒ මදිවට උගුර රිදෙන නිසා කතා කරන්න බෑ. ඇඟ ත් රිදෙනවා. අනේ පව් අපි :( තණකොළ කපන සුවඳට සමහරු ආසයි. මමත් ආස සුවඳ ජාති තියෙනවා. ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ පිච්ච මල් සුවඳ. මම කලින් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් යා කරන දෙවෙනි මහලේ පාලමක් අතරින් යනකොට පිච්ච මල් සුවඳින් නහය පිරෙනවා. ඒ පාලම දෙපැත්තෙන් ආරුක්කු හදලා උසට වැවුණු පිච්ච මල් වැල...

සහානුයාතයෙන් අනන්තය වෙත නොයමු!

සහානුයාත ක්‍රමය මුලින්ම මට හමුවෙන්නේ උසස් පෙළ ශුද්ධ ගණිතයේදී. කොහොමත් මට ව්‍යවහාරික ගණිතය ගැන තිබුණු ඇල්මැරුණු ස්වභාවය ට වඩා උනන්දුවක් ශුද්ධ ගණිතය ගැන තිබුණා. මම සහානුයාත ක්‍රමය ට ගැටළුවක් විසඳනු බලා සිටි ගුරුතුමී 'ඔයාට හරියන්නේ ප්‍රෝග්‍රැමිං' යැයි පැවසුවත්, ඒ වෙන විට නම් පරිගණක ක්‍රමලේකනයේ සහ සහානුයාතයේ  සම්බන්ධය දැන සිටියේ නැහැ. සහානුයාත ය නැත්නම් recursion පැහැදිලි කර ගන්න සරල උදාහරණ කිහිපයක් කිව්වොත්: 1) කතන්දරේ - එකමත් එක රටක පොඩි බබෙක්ට නින්ද යන්නේ නැති නිසා එයා නිදි කරවන්න අම්මා ගෙඹි පැටියගේ කතාව කිව්වා.       ....එකමත් එක රටක ගෙඹි පැටියෙක් හිටියා. ගෙඹි පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න ගෙඹි අම්මා වලස් පැටියගේ කතාව කිව්වා.             ... එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. වලස් පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න වලස් අම්මා මුගටි පැටියගේ කතාව කිව්වා.                   ...මුගටි පැටියට නින්ද ගියා.        ....ඉතින් ව...

උදාන!

"උදාන" කියන්නේ ඉතාම පරමෝත්කෘෂ්ට ප්‍රීතියක්... පිටාර ගලල ගිහින් පිටස්තරයන්වත් ප්‍රබෝධමත් කරන හැඟීමක්! මහන්සි වෙලා වෙලා උසම උස කන්දක් නැග්ගාම, අමාරුම අමාරු විභාගයක් සමත් උනාම, කට්ට කාල කාල ගොඩ ගියාම, කෑ ගහලා උඩ පනින්න තරම් සතුටක් දැනෙන්නේ, අන්න ඒ උදාන ය! ඒ උනත් වචන හරි වටිනවා කවියන්ට. මිල වැඩිම කවි සරලයි සුගමයි. වචනයක සාන්ද්‍රණය හරි ඉහළයි එතකොට. හරියට මකියාටෝ වීදුරුවක් එක පාරට බිව්වා වගේ... ...හැම පදයක්ම ඇඟට වදිනවා මදි නොකියන්න. අනේකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝ’සි පුන ගේහං න කාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා 1 Through the round of many births I roamed without reward,     without rest, seeking the house-builder. Painful is birth     again & again. House-builder, you're seen! You will not build a house again. All your rafters broken, the ridge pole destroyed, gone to the Unformed, the mind has come to the end of craving 2 1 -...

වැඩකරුවෝ වීම නොහොත් ඉස්කෝලේ පාඩම්

දැන් අපි එකේ ඉඳන් 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවනේ. ඒ ගිහින් ගණිතය, භාෂාව, විද්‍යාව, ආගම, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය වගේ ගොඩක් විෂය ඉගෙන ගන්නවා තමයි. එක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් දෙක වසරට යනවා. දෙක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් තුන ට යනවා. ඔහොම ඔහොම... තව දේවල් තියෙනවා විෂය වලට කිසිම අදාලත්වයක් නැති, හැබැයි ඊට සමානවම (සමහර විට ඊටත් වඩා) පසු කාලීනව ජීවිතේට ඕනි වෙන දේවල්. මේ එහෙම පාඩමක්. මේක මතක් උනේ සොඳුරු සිත ලියපු ඉස්කෝලේ පංති භාර ගුරුතුමියක ගේ දවස පටන් ගන්න කොට තියෙන වැඩ ගැන සටහනක් දැකලා. ඇත්තටම විෂය ඉගෙන ගන්නයි, ක්‍රීඩා/කලා කටයුතු යි ඇරුනම තව කොච්චර වැඩ තියෙනවද ඉස්කෝලේ?! ලංකාවේ ගොඩක් ඉස්කෝල වල උදේට පන්තිය පිරිසිඳු කරන්න ඕනේ ළමයි. එතකොට උදේ බෙල් එක ගහන්න කලින් ප්‍රින්සිපල් ගේ කාර්යාලයට ගිහින් රෙජිස්ටර් එකයි, රෙකොර්ඩ් පොතයි ගේන්නත් ඕනේ. ගුරු මේසේ පිහදාල අස් කරලා මේස රෙද්ද ගසල බසල, මල් වාස් එක හරිගස්සන්න ඕනේ. කලු ලෑල්ල/වයිට් බෝඩ් එක පිහදාන්න ඕනේ. බෞද්ධ ඉස්කෝල වල නම් මල් වට්ටිය හදල(ඒකට මල් නැති දවසට හොරෙන් ඉස්කෝල වත්තෙන්ම මල් කඩන එක වෙනම ගේමක්) පහන් හඳුන් කූරු පත්...

තොප්පි දා ගැනීම

පහුගිය දවසක මම පළවෙනි පාරට ඕස්ට්‍රේලියාවේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී උනා. කලින් යාළුවොන්ගේ උපාධි උත්සව වලදී එයාල එක්ක 'සෙල්ෆි' අරගන්න එක, එයාලගේ පිහිටෙන් කන බොන එක වගේ දේවල් මිසක් උත්සවේ ඇතුළට ගිහින් තිබුණේ නෑනේ. ලංකාවේ උපාධි ප්‍රදානෝත්සව වලට වඩා වෙනස්කම් කීපයක් දැක්කා.. එකක් තමා වෙනම තැනක හෝල් එකක නෙමේ විශ්ව විද්‍යාලය ඇතුලේමයි තියන්නේ. මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට කීප වතාවක් මෙහෙම ප්‍රදානෝත්සව තියෙන නිසාත්, එක වාරයකදී දවස් කීපයක් තිස්සේ සැසි කීපයක් පවත්වන නිසාත් වෙන්න ඇති (එතකොට එක සැසියකට එන ළමයි ගාන පොඩ්ඩක් නිසා ගොඩක් ලොකු ශාලාවක් ඕනේ වෙන්නේ නෑ). ඇඳුම නම් කියන්නේ 'formal' එකක් අඳින්න කියලා. පිරිමි ළමයි ගොඩක් ටයි කෝට් අඳිනවා. ගෑණු ළමයිනටත් ඕනෙනම් කලිසමක් අඳින්න පුළුවන්, ඒත් ගොඩක් අය ලස්සන ගවුමක් අඳිනවා. තම තමන්ගේ ජාතික ඇඳුම් උනත් කැමති නම් අඳින්න පුළුවන්. එදා උත්සවය පටන් ගත්තේ උදේ 10ට උනත් උපාධි ලබන අයට උදේ 8 - 9 වගේ වෙනකොට එන්න කියලා තිබුණා. ඇදගෙන නාගැනීමේ ජන්ම පුරුද්ද නිසාම ඔසරියක් එක්ක පැය ගානක් නටලා යන්තම් 9 වෙනකොට තමයි අල්ලපු වටේ ඉන්න මාත් එත...

මගේ එළවලු පලතුරු ඩයට්

අරහේ   රසිකොලොජිස්ට්  එළවලු පලතුරු ඩයට් ගැන ලියල. ගිය සතියේ මාත් ඔහොම එකක් කරල කිලෝ දෙකක් අඩු කර ගත්ත නිසා මටත් ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා. මම් තුමිය ඉස්සර නම් සෑහෙන්න කෙට්ටුවට හිටියේ.  ඔන්න එක පාරක් යාලුවෙක්ගෙ තාත්තා අසනීප වෙලා ඒ අන්කල් බලන්න ගෙදර ගියා මායි යාලුවෝ දෙන්නෙකුයි. යද්දී අංකල්, පුතා (අපේ යාලුවා) එක්ක කොහෙද ගිහිං. ඉතින් අපි අරන් ගිය ඔය ඇපල් පැපොල් (ලංකාවේ අසනීප කාරයෝ බලන්න යද්දී ඒවනේ අරන් යන්නේ) ටික ආන්ටි ට (යාළුවගේ අම්මට) දීල ආව. ඔන්න පහුවදා කැම්පස් එකේදී යාලුවා හම්බුණාම මිනිහ මට කියනවා ආන්ටි කිව්වලු 'අනේ අර හරිම කෙට්ටු ගෑණු ළමයෙක් ඇවිදින් පලතුරු වගයක් දීල ගියාය, ඒ ළමය දැක්කම මට පලතුරු ටික ඒ ළමයටම කාල පොඩ්ඩක් පණ ඇතිව මහතට ඉන්ඩ කියන්න හිතුනය කියල'. නෝන්ඩි සාගරේ ඉතිං. දැන් මම මේ රටට ඇවිදිනුත් ඉන්න කොට, මෙහෙ අංකල්ල ආන්ටිල අපේ ගෙදරට ස්කයිප් ටෙලිෆෝන් මගුල් වලින් කෝල් දිදී කියල 'අනේ ඔයාලගේ දූ හරි කෙට්ටුයි' කියල. ඕනේ නැති එකක් නෑනේ ඉතින් කට්ටියට. නිවාඩුව ට ලංකාවට ගිය හැටියේ අම්මයි තාත්තයි ඉතින් වැඩේ මාව මහත් කරලා ගන්න ලොකු ට්‍රයි එකක්. අම්මේ උදේටත් ...

අපිට ඕනෑ ජනපති කෙනෙක්! We need a President!

අදීන වන්නට නම් ජනපතිවරු රජුන් නොකළ යුතුය. බහුතර චන්දෙන් පත්ව එන ජනපති කෙනෙක් වුවද සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකි. ඔහුට/ඇයට කොන්ද නමාගෙන එහෙයි එහෙයි කියන්නට යාම දීන කමකි.  තනතුරකට කළ ගුණ සැළකිය යුතු යයි සිතීමද මේ දීන කමේ ලක්ෂණයකි. අපි කළගුණ සළකමු පුද්ගලයන්ට, පුද්ගලික මට්ටමින්. ඇයි අපි මෙතරම් බය පක්ෂපාත වන්නේ?  ප්‍රශස්ති ගයන්නට තවත් සහේළිලා ප්‍රතික්ෂේප කරමු. වැරැද්ද දුටු තැන වැරදි යයි කීමට තරම් නිර්භය වෙමු. විරුද්ධ මත වලට ගරු කරමු. සැබෑ නිදහස පතා අරගලය නිමා නැත. එය නිම නොවන සදාකාලික ප්‍රයත්නයකි. නව ජනපති ඉන්ද්‍රජාලිකයකු නොවේ. බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය. It is a beautiful day for  democracy. But the struggle is not finished. The new president cannot magically make things right. It is a constant struggle, allowing for dissent, and looking for solutions. Together. And now, there is hope.

කොටන්න කලින් ...

පරිගණක ක්‍රමලේකනයෙදී වැදගත්ම දේ මොකද්ද? අදාළ පරිගණක භාෂාව දැනගනීමද? එහෙමත් නැත්නම් ක්‍රමලේඛන මුලධර්ම දැනගනීමද? මම නම් හිතන්නේ වැදගත්ම තමන් කරන දේ මොකද්ද කියල පැහැදිලි අවබෝධයක් තිබීම. එහෙමත් නැත්නම් තමන්ගේ 'logic' එක 100% පැහැදිලිව පරිගණකයට දෙන එක. එහෙම දෙන්න නම්, මුලින්ම තමන්ගේ logic එක තමන් හරියට හදාගන්න ඕනේ. ක්‍රමලේකනය කියන්නේ යම් කිසි ගැටලුවක් විසඳීමට දෙන ක්‍රමවේදයක්. ක්‍රමලේකනයට අළුතින් එකතු වෙන අය කරන වැරැද්දක් තමයි මෙන්න මේ ක්‍රමවේදය මොකද්ද කියල තමන් මුලින් හිතන්නේ නැති එක. පරිගණක කියන්නේ ක්‍රමලේකනය අකුරට පිළිපදින යන්ත්‍ර විතරයි. ගැටළු විසඳන්න පරිගණක දන්නේ නැහැ. විසඳන ක්‍රමය ඔබ අකුරෙන් අකුර පරිගණකයට කිව යුතුයි. එක පාරට කම්පියුටර් එක ඉස්සරහ කොටන්න ගන්න එපා. අරහෙන් මෙහෙන් කෝඩ් කෑලි කොපි කරන් එකට අමුණලා ගොඩ යන්න උත්සාහ කරන්නත් එපා. ඉස්සෙල්ලම පොඩ්ඩක් හිතන්න තමුන් මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඊට පස්සේ විසඳුම ගැන high level අවබෝධයක් ආවාම ක්‍රමලේකනය පටන් ගන්න. Remember, the best thing about computers is that they will do EXACTLY what the code (i.e. YOU) tell it to do....

සොරු රැගෙන ගිය නෙළුම

"මාමේ පොළව යට තියෙන්නේ මොනවාද?" "පොළව යට...තෙල් තියෙනවා..." අදින් අවුරුදු ගණනකට පෙරදී, ඉන්දියන් සාගරයේ කුඩා දුපතක දකුණු කෙළවර නගරයක ඉස්තෝප්පුවකට අල්ලා තැනු පිට කාමරයේ සිටි මැවිසුරු මාමාගෙන්, අවුරුදු තුන හතරක ළදරියක ලෙස ඇසු ප්‍රශ්න මට මතකයි තවමත්. මේ මට ඔබ ගැන ඇති මුල්ම මතකය යි. මා ඔබට අවසන් වරට කතා කළේ අගෝස්තු 6 වන දා. එදා ඔබ මා සමඟ දුරකතනයෙන් විහිළු කර සිනාසුනු හැටි මට තවමත් ඇසෙනවා වගේ. අගෝස්තු 20 වනදා පාන්දර ඔබ මිය ගිහින් උපන් බිමෙන් බොහො ඈත. ඔබ නැතිවී දින හතයි. ඒත් තවමත් එය නපුරු සිහිනයක් වගෙයි. ඔබ වැඩ ඇරී ගෙදර යළි එනවා නම් කියා ඔබ වෙනුවෙන් මල් කැකුළක් නිවෙසේ බලා ඉන්නවා තවම. ආදරය කරන අය එකවර මිය යන විට ජීවත්ව සිටින අයට දරා ගනු අමාරුයි. නිබන්ධනය නිමා කොට ඔබ බලන්නට එන්න සිතා සිටියත් සිඩ්නි නුවරට, අන්තිමට එන්න වුයේ ඔබේ මළගමට මට. ගුණ නුවණ දෙකම නිමක් නැතිව පිහිටි ඔබ කමල් මලක් ලෙසම දිලුනා හැම දාම. මාමා ට උතුම් වූ නිවන් සැපම පතන්නෙමි!

අක්බමරු කථා වස්තුව

එකෝමත් එක රටක, ළඟදී බැන්ද නව යුවළකට සුභ ආරංචියක් ලැබුනලු දොස්තර ගෙන්. අලුත් කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු වෙන්න යන බවට. එදා වෙන්ට-අම්මයි වෙන්ට-තාත්තයි දෙන්නම පැතුවලු එන්න ඉන්න කෙනා පුංචි දුවක්ම වෙන්ඩ ඕනේ කියල. කසාද බඳින්න කලින් වෙන්ට-අම්ම වෙන්ට-තාත්තව මුළින්ම දැක්ක දවසේ හිත ගිහින් තියෙන්නේ වෙන්ට-තාත්තගේ කැරළි කැරැළි කොන්ඩේ ටලු. ඉතින් ඒ හන්දා එයාට ඕනි උනෙත් ඒ වගේම දඟර ගැහුණු කොණ්ඩයක් තියෙන දුවෙක්ටලු. ඔන්න ඉතින් අම්ම පැතුව විදියටම හා හා පුරා කියල උපන් දූ පොඩ්ඩටත් තිබුණලු සිනිදු කැරළි කැරළි කොණ්ඩයක්! පුංචි බට්ටි කාලේ නම් පැංචි හරි ආසයි එයාගේ කර්ලි කොණ්ඩෙට. හැමදාම බේබි ෂැම්පු දාල හෝදලා වේලුනාම ගෙදර හින්දපු තෙල් ගාලා අම්මිම කොන්ඩේ හරිගස්සනවා කැරළි කැරළි වටේට වැක්කෙරෙන්න. යන යන තැන නැන්දලා ඉතින් ඔය සිනිඳු කැරළි අල්ල අල්ල හායි හුයි ගානවා. මේ බබා ටික ටික ලොකු වෙලා ඉස්කෝලේ යනවලු දැන්. දැන් නම් ඔක්කොම යාළුවන්ට තියෙන අවුල් වෙන්නේ නැති හරි කෙලින් කොන්ඩ ගස් වලට මේ දැරිවිට ටිකක් ඉරිසියා ලු. ඇයි ඉතින් එයාගේ දඟර කොණ්ඩේ පොඩ්ඩ ඇත්නම් ගැට ගැහෙනවා. ඊට වඩා ඒක දික් උනාට පෙනෙන්නෙත් නෑ...දඟරේ ...