Skip to main content

තොප්පි දා ගැනීම

පහුගිය දවසක මම පළවෙනි පාරට ඕස්ට්‍රේලියාවේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී උනා. කලින් යාළුවොන්ගේ උපාධි උත්සව වලදී එයාල එක්ක 'සෙල්ෆි' අරගන්න එක, එයාලගේ පිහිටෙන් කන බොන එක වගේ දේවල් මිසක් උත්සවේ ඇතුළට ගිහින් තිබුණේ නෑනේ.

ලංකාවේ උපාධි ප්‍රදානෝත්සව වලට වඩා වෙනස්කම් කීපයක් දැක්කා..
එකක් තමා වෙනම තැනක හෝල් එකක නෙමේ විශ්ව විද්‍යාලය ඇතුලේමයි තියන්නේ.
මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට කීප වතාවක් මෙහෙම ප්‍රදානෝත්සව තියෙන නිසාත්, එක වාරයකදී දවස් කීපයක් තිස්සේ සැසි කීපයක් පවත්වන නිසාත් වෙන්න ඇති (එතකොට එක සැසියකට එන ළමයි ගාන පොඩ්ඩක් නිසා ගොඩක් ලොකු ශාලාවක් ඕනේ වෙන්නේ නෑ).

ඇඳුම නම් කියන්නේ 'formal' එකක් අඳින්න කියලා. පිරිමි ළමයි ගොඩක් ටයි කෝට් අඳිනවා. ගෑණු ළමයිනටත් ඕනෙනම් කලිසමක් අඳින්න පුළුවන්, ඒත් ගොඩක් අය ලස්සන ගවුමක් අඳිනවා. තම තමන්ගේ ජාතික ඇඳුම් උනත් කැමති නම් අඳින්න පුළුවන්.

එදා උත්සවය පටන් ගත්තේ උදේ 10ට උනත් උපාධි ලබන අයට උදේ 8 - 9 වගේ වෙනකොට එන්න කියලා තිබුණා.
ඇදගෙන නාගැනීමේ ජන්ම පුරුද්ද නිසාම ඔසරියක් එක්ක පැය ගානක් නටලා යන්තම් 9 වෙනකොට තමයි අල්ලපු වටේ ඉන්න මාත් එතෙන්ට ගියේ.

උත්සවේට අඳින ලෝගු සහ තොප්පි කිට් එක කලින් ඕඩර් කරන්න ඕනේ. කැමති නම් හයර් කරන්න හරි මිලදී ගන්න හරි පුළුවන්.
මිලදී ගන්නවා නම් ගෙවන්න ඕනේ මිල දැක්කම මට කලන්තේ වගේ ආව නිසා හයර් කරා.

ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල මම දන්නා තරමින් තොප්පි දාන්නේ නෑ. ලෝගුව පොරවලා ගනකම මාලයක් වගේ එකක් දාන්නේ.
මෙහේ නම් උපාධියක් කරොත් තොප්පි වැටෙනවා.

මේ උපාධි ඇඳුමට කොටස් 3 ක් තියෙනවා:
Gown : මේ අර විසාල කළු ලෝගුව
Hood : ඒ ලෝගුවට බෙල්ලට පිටි පස්සෙන් වැටෙන්න හිස්වැස්මක් වගේ හුඩ් එකක් ගහනවා (හුඩී වල වගේ)
Trencher/Bonnet : මේක තමයි වැටෙන තොප්පිය

BSc, MSc උපාධි වලට දාන එකට කියන්නේ trencher එක කියලා. PhD උපාධි වලට දාන එකට කියන්නේ bonnet එක කියලා. ඒ දෙක පෙනුමෙන් පොඩ්ඩක් වෙනස්.

උපාධි ප්‍රදානෝත්සවය ට සුදානම් කරලා තියෙන තැන ගිය හැටියේ දැක්කේ ෆොටෝ ගහන්න ස්ටුඩියෝ ලෑස්ති වෙලා හිටි විදිහ. ස්ටුඩියෝ දෙකක් ඇවිත් තිබුණා. කැමති එකක් තෝරාගන්න පුළුවන්.

අවුරුදු කීපෙකට උඩ  දී BMICH එකේ ප්‍රධානෝත්සවය ඉවර වෙලා පැය ගානක් ෆොටෝ පෝලිමේ හිටි හැටි මතක් වෙලා (විශේෂයෙන්ම අපේ උපාධිදාරී සහෝදර සහෝදරියෝ පෝලිම් පැන්න හැටි මතක් වෙලා) මෙදා පාර ප්‍රධානෝත්සවය පටන් ගන්න කලින් ෆොටෝ ටික ගත්තා.

උත්සවය පටන් ගන්න ලං වෙනකොට උපාධි ගන්න අය වෙනම වාඩි කරවලා අමුත්තන්ව වෙනම වාඩි කෙරෙව්වා. ආචාර්ය උපාධි ගන්න අයට විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයත් එක්කම වේදිකාවේ අසුන් ගන්න ලැබුණා.

උපාධිය ප්‍රදානය කරන්නේ කුලපති විසින්. උපාධිය ලබාගන්න ශිෂ්‍යයාගේ නම නිවේදනය කරන්නේ පීඨාධිපති විසින්.

තමන්ගේ නම නිවේදනය කරාම දකුණු අතින් තොප්පිය පොඩ්ඩක් අල්ලලා ඔලුව පොඩ්ඩක් පීඨාධිපති ට නවන්න ඕනේ. ඊට පස්සේ වේදිකාව උඩ ඉන්න කුලපති ළඟට යනකොට එයාත් එයාගේ තොප්පිය අල්ලලා ඉනෙන් පොඩ්ඩක් නමලා ආචාර කරනවා. එතකොට ශිෂ්‍යයාත් තොප්පිය අල්ලලා ඔළුව නමලා ආචාර කරන්න ඕනේ.


ඊට පස්සේ කුලපති උපාධි සහතිකේ දීල මොනා මොනා හරි කියනවා ("well done"/ "good job"/"congratulations" blah blah ). ළමයට තියෙන්නේ ෆොටෝ ගන්න කට්ටිය ඉන්න දිහා බලල සිග්නල් ඇඩ් එකකට වගේ හිනා වෙන එක.

ඔය කරන්න ඕනේ සේරම වගේම තව යන්න ඕනේ පැත්ත, නැගිටින්න වාඩිවෙන්න ඕනේ වෙලා වගේ ගොඩක් දේවල් එක්කෙනෙක් ඇවිත් උත්සවය පටන් ගන්න කලින් උපාධි අපේක්ෂකයන්ට කියල දුන්නා.
කියල දීලා "දැන් ඔක්කොම මතකද?" ඇහුවම මම "නෑ" කිව්වේ බොරුවට නෙමෙයි. එයා මා දිහා සානුකම්පිතව බලලා කිව්වා "කමක් නෑ ඔයා ඉස්සරහ ඉන්න එක්කෙනා කරන දේම කරන්න" කියලා.

ප්‍රදානෝත්සවයේ උනු එක රසවත් සිදුවීමක් තමයි BSc උපාධි අපේක්ෂක පිරිමි ළමයෙක් අර නැමී නැමී ආචාර කරන්න ගිහින් ගව්න් එක පැටලිලා වේදිකාව උඩ වැටුන එක. හැමෝම මොහොතකට නිශ්ශබ්ද උනා. එයා පට ගාල මොකද්දෝ ලස්සන ජිම්නාස්ටික් මූව් එකක් දාල කැරකිලා හිට ගත්තේ හැමෝම හිනා ගස්සවමින්. එයාට අනිත් අයට වඩා දෙතුන් ගුණයක අත්පොළසන් නාදයක් ලැබුණා!



උත්සවය ඉවර උනාට පස්සේ හැමෝටම තේ පැන් සංග්‍රහයක් ලැබුණා. එතෙන්දි ළමයි තමන්ගේ ආචාර්ය මණ්ඩලය එක්ක ෆොටෝ ගන්න එක, එයාලව තමන්ගේ පවුලට අඳුන්වා දෙන එක වගේ දේවල් සිදු වුණා.

මම ඉගෙන ගත් විශ්ව විද්‍යාලය ගොඩක් ලස්සන පරිසරයක තියෙන්නේ. ගොඩක් ගස් වැල්, මල්, තණ බිම්, පොකුණු, දොළ පාරවල් උඩින් යන පුංචි පාලම්, තාරාවෝ පීනන දිග අගලක්, නාට්‍ය වළක් එහෙම තියෙනවා. 


එදා දවසත් හොඳට හිරු එළිය වැටිලා ලස්සනට තිබුනා. ඉතින් උපාධි උත්සවය ඉවර වෙලා හැමෝම වගේම යාළුවෝ එක්ක විශ්ව විද්‍යාලයේ සුන්දර තැන් වල ෆොටෝ ගත්තා...

අන්තිමට කරන්න ඉතුරු වෙලා තිබුණේ හයර් කරපු ලෝගු සහ තොප්පිය ආයේ බාර දෙන එක.

ගෙදර ගිහින් බැලුවම ස්ටුඩියෝ එකෙන් ෆොටෝ අප්ලෝඩ් කරලා ලින්ක් එක එවලා තිබුණා. ෆොටෝ ලස්සනයි. ගාණ තමයි ලස්සන නැත්තේ. ෆොටෝ ටික ගත්තට විතරක් (sitting එකට) $45 යි, ඩිගිටල් ෆොටෝ එකකට $55 ගානේ ගෙවන්න ඕනේ. සක්කාය දිට්ඨිය නිසා තියෙන ෆොටෝ ඔක්කොම ගන්නත් හිතෙනවා! අන්තිමට ඉතින් පර්ස් එකට තට්ටු උනා :)




ඔන්න ඔහොම තමයි මම තොප්පි දා ගත්තේ!

Comments

  1. Wow… congratulations Niro…ummmmmaaa…:D

    ඔය තොප්පිය වැටෙන කොට හොඳ වර්ණනාවක් හම්බ වෙනවනේ? :P

    ReplyDelete
    Replies
    1. වර්ණාවක් කිව්වේ thesis abstract එකද? ඒක නම් ඉතින් මම ම ලියල දෙන එකනේ. :D
      Thanks PK!

      Delete
  2. සුභ පැතුම්! මටත් තියෙනවා ළඟදීම ඔය වගේ ම තොප්පියක් දාගන්න. ටිප්ස් ටික වටිනවා! :)

    ReplyDelete
  3. එංගලන්තෙ, අමරිකාවෙ ඔය ටොෆ්ෆියට කියන්නෙ බදාම ලෑල්ල ( Mortar Board ) කියල. ටොෆ්ෆි දැමිල්ල අහක වෙලා කට්ටියම එළියට ගිහිල්ල ගූරුප් පෝටොස් එකක් එහෙම අරං අර බදාම ලෑලි ඇති වීරියෙං වීසි කරනවා අහසට...:)

    Thanks for the information...

    ReplyDelete
    Replies
    1. /* BSc, MSc උපාධි වලට දාන එකට කියන්නේ trencher එක කියලා. PhD උපාධි වලට දාන එකට කියන්නේ bonnet එක කියලා. ඒ දෙක පෙනුමෙන් පොඩ්ඩක් වෙනස්. */

      නිරෝ ට ලැබුනේ මට්ටම් ලෑල්ලක් (trencher) නොවෙයි බොනට්ටුවක්!

      Delete
    2. @රවී
      තොප්පි විසි කරනවා හොලිවුඩ් වලින් නම් දැකල තියෙනවා. මෙහෙත් එහෙම කරනවා ඒත් මම සිඇසින් දැකල නෑ.

      Thanks for the information... ;)

      Delete
  4. සුබ පැතුම් වේවා..

    ReplyDelete
  5. සුබ පැතුම්!

    ReplyDelete
  6. /* ලංකාවේ උපාධි ප්‍රදානෝත්සව වලට වඩා වෙනස්කම් කීපයක් දැක්කා..
    එකක් තමා වෙනම තැනක හෝල් එකක නෙමේ විශ්ව විද්‍යාලය ඇතුලේමයි තියන්නේ.
    මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට කීප වතාවක් මෙහෙම ප්‍රදානෝත්සව තියෙන නිසාත්, එක වාරයකදී දවස් කීපයක් තිස්සේ සැසි කීපයක් පවත්වන නිසාත් වෙන්න ඇති */

    ලංකාවේ කැළනිය විශ්ව විද්‍යාලයේ වැඩ කරන්න ගිය කාලේ එහි උපාධි ප්‍රදානොත්සව ශාලාව කියා තැනක් තියේද්දීම එකේයි උත්සවය තියෙන්නේ කියා දැන ගෙන මට හිනා ගියා. මොකද පේරාදෙනියේ නම් එහි තියෙන ජිම්නේසියම් එකේ තමයි හැමදාම උපාධි ප්‍රදානෝත්සවය තිබුණේ!

    තොප්පිය හරි නිසා වෙන්න ඕනෑ ඔය දා ගත්තේ?

    සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. අපිටත් BMICH යන්න උනා නේ. කැම්පස් එකේදී රැග් නොවුනට එදා BMICH එකේ නම් හෙන රැග් එකක් කෑවා :(

      සුභ පැතුමට ස්තුතියි!

      Delete
  7. එකම එක තොප්පියක් දාගත්තා... අපි නම් අර රවී කිව්ව වගේ උඩ විසි කලා... හැබැයි අර හයර් කරපු තොප්පිය එහෙම විසි කරලා හොයා ගන්න බැරි උණොත් එහෙම මාර තොප්පිය... උඩ දාපු තොප්පියේ කොන් ඔලු වල වැදිලා දෙතුන් දෙනෙක් එතනම PhD. ආයෙ නම් තොප්පි දාන්න ආසාවක් නැත.

    තොප්පියට සුභ පැතුම්... හොඳම පින්තූරේ හිතලම බොඳ කරලද මන්දා :)

    ReplyDelete
    Replies
    1. තොප්පි වැටෙන එක තමයි ප්‍රශ්නේ තිසර! :D
      ස්තුතියි !!

      Delete
  8. අහා, එහෙනම් නිරෝෂි ඉගෙනීම ඉවරයි කියුවේ මේකයි. කොහෙද මා නම් ඔය විවියකට ගොඩ වෙලා තියෙන්නේ වැහි දවස් දෙකකට විතරයි.

    සුබ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම් ! :)

      Delete

Post a Comment