Skip to main content

කැවුම් කොකිස් කිරිබත් සහ හත්මාළුව සමඟ මගේ අවුරුද්ද


ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා. 

එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ  බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි  කියන බයට වෙන්න ඇති. 

හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව රිදෙනවා කිව් නිසා එක එක ටෙස්ට් කරන්න යන්න තිබුණු නිසා. මහ ඉස්පිරිතාලේ මුලින් ටික දවසක් හිටියත් එයාල ටිකට් කපලා ගෙදර එව්වා. දොස්තරලා කිව්වේ ළමයි එක්ක ඉන්ඩ, ඕනැ දෙයක් කන්ඩ කියලා. අපි හිතුවේ නැහැ කවදාවත් ආච්චි අම්මා ට ලොකු අසනීපයක් කියලා. එදා නොනගතේ වෙලාවේ පපුව රිදෙනවා කිව්වම ළඟම තිබුණු ඉස්පිරිතාලෙට එක්කන් ගියා. එතන ළඟ ඉන්න දෙන්නෙත් නෑ. අනිත් එක ආච්චි අම්මට ලොකු උවමනාවක් තිබිල තියෙනවා අම්මාව ගෙදර එවල නැකතට කිරිබත උයවන්න. කොහොම හරි ආච්චි අම්මා කියල කියලම අම්මා රෑ වෙලා ගෙදර ආවා පහුවෙනිදා උදෙන්ම කිරිබත් හදන් ඉස්පිරිතාලේ යන්ඩ හිතන්. කිරිබත් හදලා කන්න කලින් අම්මයි තාත්තයි සීයයි ඉස්පිරිතාලෙට යනකොට ආච්චි අම්මා හිටපු ඇඳ හිස්. අපිට කිරිබත් උයන්න කියලා එයා යන්නම ගිහින්...

පරණ අවුරුදු දා උණු ඒ සිද්ධිය නිසා ඉන් පසු වුනු හැම අවුරුද්දක්ම ආච්චි අම්මා නැති දුක පපුව කෙළවරක තියන් තමයි සැමරුවේ. අවුරුදු ලබන කොට අම්මා අපි හින්දා සිනාමුසු මුණින් අවුරුදු සැමරුවත් ආච්චි අම්මගේ මරණය ගැන එයාට මතක් වෙන බව මට තේරෙනවා.
අපි අපේ ආදරණීයයන් වෙනුවෙන් කෙතරම් දුක් උහුලනවද? කෙතරම් නම් දුක් හංගනවද?


ඒ කොහොම නමුත් අවුරුදු කාලෙට ගෙදර කැවිලි බැදෙන තෙල් සුවඳ පිරෙන කොට මට තවමත් අමුතු සුන්දර හැඟීමක් හිතට එනවා. ලංකාවේ නොහිටියත් බැරි බැරි ගාතේ හරි මම කොහොම හරි කිරිබතක් උයලා කැවිලි දෙක තුනක් හදන්න දත කන්නේ ඒ හන්දයි.


ලංකාවේදී නම් කැවුම් කොකිස් හදන්න අමු හාල් පිටි මෝලෙන් ගන්න එක ලේසියි. මේ පැත්තේ කොහෙද ඉතින් එහෙම කරන්නේ? මට හාල් කිලෝ ගණනින් කොටන්න සුමිට් එකක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මම කරේ සුදු කැකුළු හාල් දියේ දාලා පොඟවලා ඒක තෙත පිටින්ම මික්සර් එකෙන් අඹරල ගත්තු එක. කොකිස් වලට නම් පොල් කිරියි ඔක්කොම එකට දාල අඹරල ගත්තා. කැවුම් වලට යන්තම් වතුර චුට්ටක් දාල ගත්තා.

කොකිස් යොදා ගත්තට පස්සේ හදා ගන්න නම් ලේසියි. හැබැයි අච්චුව ඇලවෙන්න ගත්තොත් තමයි හිස රදේ. අලුත් අච්චු නම් ඇලවෙන්න බලනවා වැඩියි. කොකිස් හදන දිනේට දවස් දෙකක් විතර කලින් ඉඳන් උණු තෙල් තාච්චියක ටික ටික දාල අච්චුව පදම් කරාම ඇලවෙන්නේ නෑ කියලා අම්මා කියනවා. එහෙමත් කරලා ඇලවෙන්න ගත්තොත් කරන්න තියෙන්නේ කොකිස් මිශ්‍රණයට බිත්තරයක් දාන එක.

කැවුම් නම් මම මීට කලින් එක පාරයි හදලා තිබුනේ. මොකක් හරි හේතුවක් නිසා මට කැවුමේ බුරිය ගන්න පුළුවන්. හොඳටම ඉවුම් පිහුම් දන්නා සමහර නැන්දලා හදන කැවුම් වලටත් වඩා මම හදන කැවුම ලස්සන ය කියලා එයාලම කියනවා. ගොඩක් අයට කැවුමේ බුරිය ගන්න එක ලොකු තාක්ෂණික ප්‍රශ්නයක් උනත් අතරින් පතර මම වගේ කිසිම හැදෑරීමක් අත්දැකීමක් නැතුව  කණා ෂොට් ඒක හරි යන අයත් ඇති!


මම කැවුම් කොකිස් බදින අතරේ හබී ඇවිදින් ලොජිස්ටික්ස් මැනේජර් (එයාම තමයි ඔය තනතුර දා ගත්තේ) හැටියට වැඩ කරා. ඒ කිව්වේ බදින කැවුම් කොකිස් තෙල් බේරෙන්න පත්තර කොළ වල දාන්න, තෙල් බේරුණු ඒවා හුලන් වැදෙන්නේ නැතුව අසුරන එක වගේ දේවල්. කැවුම් සහ කොකිස් දෙකම එකින් එක බදින්න ඕනේ නිසා ගොඩක් වෙලා යනවා. පැය ගානක් ඔහොම ලිප ළඟ හිටන් ඉන්න එක හරි අමාරුයි. ඒ හන්දා එදා රෑට කෑමත් හබී තමයි ඉව්වේ. 

අවුරුදු දා කිරිබත ලිපේ තියලා කිරිබත් කන්න තව හත්මාලුවකුත් හැදුවා. ඒක ඉගෙන ගත්තේ මල්මී ට පින් සිද්ද වෙන්න. මට කොස් ඇට නැති නිසා brazil nuts සහ කිරි අල වෙනුවට මයියොක්කා ත් දැම්මා. හොඳ රසට ආවා! නමුත් brazil nuts නම් ඉව්වම ආපු රස මට එච්චර ඇල්ලුවේ නැහැ. මයියොක්කා නම් පුළුන් වගේ තැම්බුනාම ඒකෙන් හත්මාලුවට හොඳ කිරි රහක් ඇවිත් තිබුනා.


ඔන්න ඔහොම තමයි මම මේ අවුරුද්ද සැමරුවේ. අවුරුදු දා කියන්නෙත් තවත් එක දිනයක් විතරක් උනාට එහෙම එක දිනයක් විශේෂ විදියට සමරන්න මම කැමතියි. ඒකෙන් මගේ ජීවිතේට නැවුම් බවක් එකතුවෙනවා කියලා මට දැනෙනවා.

ඔයාල හැමෝන්ටමත් පතන්නේ අලුත් බලාපොරොත්තු එක්ක සුභම සුභ නව වසරක් වේවා කියලා යි! මැලේ යෙහෙළියකගේ මුණු පොතේ තිබුණු මෙන්න මේ සිතුවිල්ලෙන් සටහන ඉවර කරනවා...
පිරිසිඳු හදවතක් වෙනුවෙන් මේ වසරේ මගේ පැතුමත් මේකයි!

"when someone insults you, keep it out of your heart so it doesn't make you bitter or defensive. When someone praises you, also keep it out of your heart, so it doesn't make you arrogant and self-deluded. When you face hardship and stress, don't absorb it in your heart, so you don't become hopeless and overwhelmed. Instead keep it in your hands and realize that everything passes..." ― Yasmin Mogahed




Comments

  1. අපේ ලඟින්ම ඉන්න අය වෙන්වෙලා යන්නේ හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති විදිහට......
    මං වගේ කෙනෙක් ලොජිස්ටික් මැනේජර් විදිහට වැඩ කරා නම් අහුරන්න යන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න තිබුණා... :)

    ReplyDelete
    Replies
    1. //මං වගේ කෙනෙක් ලොජිස්ටික් මැනේජර් විදිහට වැඩ කරා නම් අහුරන්න යන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න තිබුණා..//
      ඔව් ඉතිං ඒ වගේ අක්‍රමිකතා රාශියක් ම අපේ මැනේජර් අතිනුත් සිද්ධ වෙලා කියල මට තේරුම් ගියේ හදල ඉවර වෙලා ගණන් කරන කොට :D

      Delete
  2. අසාධාරණ මිනිස්සු....
    මෙයාලා අවුරුදු හදලා කාලා තව අපිට අගේ කරනවා.

    මොන හේතුවක් හින්දද මන්දා මට ඔය ලංකාවේ කෑම කන්න ආසා හිතෙන්නේ ලංකාවෙදි විතරමයිනේ. (මෙහේදි කන්න හිතිලාවත් හදන්න හිතිලාවත් නෑ හොඳ වෙලාවට) අනික මම කැවුම් කන්නත් ආස නෑ. කොකිස් නම් මේ පාර ආපිකෝ එකේ තිබුනා එක එක රස කොකිස්. මම ආසම වැලි තලප, රුලං හා තල. මේ පාර කැවුම් බෝල වර්ගයකුත් හම්බ වුනා මුංගුලි වගේ නමක් තිබුනේ ඒකත් හරිම රසයි.
    හත්මාළුව නම් මටත් මතකයි. අපි පොඩි කාලේ අම්මා උයනවා. ඒ වුනාට අර බඩගින්නේ ඉන්න එක නම් මට දරාගන්නම බෑ, දැන් අවුරුදු දෙක තුනකට කලින් කිරිබත් කන්න තිබුනේ දවල් වෙලා හින්දා මට තේ එකක්වත් දුන්නේ නැති තරම්. අන්තිමට අඬලා වගේ තේකත් බීවේ.

    ReplyDelete
    Replies
    1. හිහි..මම නම් ඔය කොයි දේත් කන්න ආසයි...කැවුම් නම් රස හදපු ගමන් උණු උණුවේ...
      හත්මාළුව මම ජීවිතේටම ඔය කෑවමයි. අම්මා හදල නැහැ කවදාවත්. මම හිතන්නේ අපේ පැත්තේ ඕක හදන්නේ නැහැ. කළු දොදොල් සහ මස්කට් තමයි ඒ පැත්තේ speciality.
      මට නම් බඩගින්නේ ඉඳල ඉඳල නැකතට කන එක මාර ෆන්. අම්මේ එතකොට කිරිබතේ තියෙන රස!

      Delete
  3. නිරෝ....අර යැස්මින්ගේ කියමන නම් හරියටම හරි.
    ඔයාගේ කැවුම් කොකිසුත් ලස්සනට ඇවිත් තියෙන්නේ..රස කොහොම වුනත් :
    ඔබ පවුලට සුබ වසරක් වේවා.. හබීට හැමදාම උයන්න කියලා...නිරෝ රස්සාවට නොයා කැවුම් කඩයක් දාගන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරූ..ඔයාටත් පවුලටත් එසේම වේවා!

      //නිරෝ රස්සාවට නොයා කැවුම් කඩයක් දාගන්න...//
      මරු අදහස! පස් තාච්චිය ඇදල ඉවර උනාම කරලා බලන්න ඕනේ! :D

      Delete
  4. මෙයා අවුරුද්ද ලස්සණට කාලා...:)

    මට මතක් උණේ ඔයාගේ කප් කේක් පෝස්ට් එක. ඒක දැක්කාම සමහරුන්ට බඩගිනි ඇවිත් තිබුණා...

    හබියා හරි හොඳයිනේ. ඒ වගේ කෙනෙක් හම්බ වෙන්ට පෙර පින් කරලා තියෙන්ට ඕනිලු. ඔය විදියට හැමදාම සතුටින් ඉන්ට ලැබෙන සුබ නව වසරක් නිරෝට!!!

    ReplyDelete
    Replies
    1. හික්z ... කප් කේක් කාපු කාලයක් මතක නෑ අනේ...
      ඔව් ඔව් එයාට හොඳට උයන්න පුළුවනි. හැබැයි උයනකොට කුස්සියේ තියෙන ඔක්කොම ජාති දානවා ;)
      ඔයාටත් එසේම වේවා පොඩ්ඩි! පොඩ්ඩි ටත් පොඩ්ඩි ගේ හබී ටත් රසම රස අවුරුද්දක් වේවා!

      Delete
  5. Taro කියන අල වර්ගය (කිරි අල වගේ එකක් ) හත් මාලුවට දාලා බලලා නැද්ද? ඒක හරිම රසයි...

    ReplyDelete
    Replies
    1. ඔහ් ...ටාරෝ කඩවල දැකල තිබ්බට කාල නෑනේ. අරන් බලන්ඩ ඕනේ...
      (දැන් මෙයත් බැන්දට පස්සේ රොස් පරිප්පු වෙනුවට එක එක ඒවා හදනව නේද? )

      Delete
  6. කැවුම් ඊක්ක....................කව්ද අප්ප කැවුම් කන්නෙ... වස අප්පිරියයි නෙව...

    අලේ මං දන්ෙ නෑ... මොකද්ද කැවුමෙ බුරිය කියන්නෙ...
    ඒකත් නිකං අර කොණ්ඩ කැවුමෙ කොණ්ඩෙ වගේද

    ReplyDelete
    Replies
    1. හිහි...ඔව් ඔව් ඒක තමයි...අපේ අම්මලාගේ පැත්තේ බාසාව :D

      Delete
  7. හත් මාලුව හැදුව එක හරි වටිනවා. ඒක තමා වැඩියෙන්ම අගය කරන්න ඕනේ :D

    ReplyDelete
    Replies
    1. මෙයත් හත් මාළු කන්ඩ රුසියෙක්ද කොහෙද :D....
      දැන් තව ටික දවසකින්ම තමන්ටම කියල හත්මාළුව හදල දේවිනේ අරයා ;)

      Delete
  8. කැවුම් වලට බුරියක් තියනවා කියලා මම ඔය ඇහුවමයි. සෑහෙන ගේමක් දීලා වගේ අවුරුද්දට... දැන් නම් පරක්කු උණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්නම්...

    ReplyDelete
    Replies
    1. එක දවසයි අනේ මහන්සි උනේ...පොඩ්ඩ පොඩ්ඩ නේ හැදුවේ.
      පරක්කුයි මාත් ..කමක් නෑ ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්! :)

      Delete
  9. හත්මාළුව රස බලන්න ආස හිතුණා නිරෝ..
    - නලින්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World