Skip to main content

අන්තවාදය, සංඛ්‍යානය සහ බ්ලොග්


මිනිස්සු වෙලාවකට හරිම අන්තවාදීයි. හැබැයි පුදුම දේ කියන්නේ තමන්ගේ අන්තවාදය නොපෙනී අනිත් අයගේ අන්තවාදය ගැන උඩ පනින එක.
හැම ප්‍රශ්නයකම දෙපැත්තක් නෙමෙයි පැති හත අටක් උනත් තියෙන්න පුළුවන්.
අර සිංදුවක් තියෙන්නේ 'එක මකුණයි ළමයෝ කන්නේ- ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ' කියලා. ඕවා සිංදුවට කිව්වට මිනිස්සු වැඩ කරන්ඩ ගියාම ඒවා කැලේ.
ඔන්න X කෙල්ලෙක්ට හම්බුවෙනවා සල්ලාල කොල්ලෙක්. කොල්ලා කෙල්ලට හොරෙන් තව කෙල්ලෝ හත අටක් එක්කත් සම්බන්ධකම් තියාගන්නවා. ඉතිං ඒවා කෙල්ලට අහු උනාම කොල්ලව අත ඇරලා නිකං ඉන්නේ නැතුව මුළු පිරිමි සංහතියම සල්ලාලයෝ කියලා කෑ ගහන්ඩ ගන්නවා.
ඔන්න තව Y කොල්ලෙක්ට කපටි කෙල්ලෙක් හම්බු වෙනවා. කෙල්ල කොල්ලගෙන් පුළුවන් තරම් මාල වළලු ඇඳුම් එහෙම කඩා වඩා ගෙන අන්තිමට වෙන සල්ලිකාරයෙක්ව කසාද බඳිනවා. ඉතිං ඒ කොල්ලත් හිත හදාගෙන නිකං ඉන්නේ නැතුව මුළු ගෑණු සංහතියම වංචාකාරියෝ කියලා උඩ පනින්ඩ ගන්නවා.

දැන් මේ X සහ Y දෙන්නටම තියෙන්නේ 'උමං දැක්ම'. අපි උමඟක් ඇතුලෙන් යද්දී ඉස්සරහින් උමං කටේ තියෙන පොඩි වෘත්තාකාර පෙදෙසක් විතරයි පෙනෙන්නේ. එතකොට හිතන්න උමං කට ඉස්සරහින් තියෙන්නේ ලස්සන මල් පඳුරක් කියලා. හැබැයි වටේට තියෙන්නේ ජරා කුණු වළවල්. උමඟ ඇතුළේ ඉඳන් බලන කෙනාට පේන්නේ මල් ටික විතරයි. වටේ තියෙන කුණු පේන්නේ නැහැ. ඉතිං හිතනවා හරි ශෝක් මාර සිරා කියලා.


ඒ වගේ දෙයක් අහන් ඉන්න මෝඩයෝ ටිකත් ඊට පස්සේ කුලප්පු වෙනවා.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා මිනිස්සු කිව්වට ඒකත් කලින් කියමන වගේ ගණනකට ගන්න එකක් නෙමෙයි.
තමන් අත්විඳින එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් පදනම් කරගෙන 'ලේබල්' නිර්මාණය කරගන්න එක මෝඩ වගේම භයානක දෙයක්.
දැන් අර උඩ X කෙල්ලට එක කොල්ලෙක්ව පදනම් කරගෙන කොල්ලෝ හැමෝටම සල්ලාල ලේබලේ ගහන්ඩ අයිතියක් තියෙනවද? නැහැ.
හරි අපි හිතමු X ගේ යෙහෙළියෝ දෙන්නෙක්ට ත් ඒ හා සමාන අත්දැකීම් ලැබුණා කියලා. එතකොට X කෑ ගහන්නේ  මට  විතරක් නෙමෙයි මගේ යාළුවෝ හැමෝටමත් මෙහෙමයි- ඒ නිසා කොල්ලෝ බහුතරය සල්ලාලයෝ කියලා. ඒ උනාට ඒකත් නිවැරදි ක්‍රම වේදයක්ද?
නැහැ. ඇයි?
X සහ ඇයගේ යෙහෙළියන්ගේ පෙම්වතුන් කියන්නේ ඉතාම විශාල කුලකයක ඉතාම කුඩා නියැදියක්. ඒ කියන්නේ නොගිනිය හැකි තරම්. 'කොල්ලෝ බහුතරය' කියන යෙදුම පාවිච්චි කරන්න නම් ඉස්සෙල්ලා නියැඳිය විශාල කරලා බලන්ඩ ඕනේ.
එහෙනම් හිතන්න Z විශ්ව විද්‍යාලයේ සමීක්ෂණයක් කෙරෙනවා කොල්ලන්ගේ සල්ලාලත්වය පිළිබඳ. ඒකෙන් එම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න හැම කොල්ලම අධ්‍යනය කරලා බැලුවම දත්තයක් ලැබෙනවා ඉන් 60% ට පෙම්වතියො  එක්කෙනෙක්ට වඩා වැඩියෙන් ඉන්නවා කියලා.
ඔන්න දැන් X ට කියන්න පුළුවන්ද කොල්ලෝ බහුතරය සල්ලාලයෝ කියලා?
ඒත් බැහැ.
ඔන්න මෙහෙම දෙයක් නම් කියන්න පුළුවනි.
"Z විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කොල්ලන් 60% කට පෙම්වතියන් එක් අයෙකුට වඩා සිටී"

සංඛ්‍යානය ගැන අවභෝධයක් තියෙනවා නම් මේක ඉතාම සරලයි.


මහ ලොකුවට බුද්ධ දේශනාව ගැන කෑ ගැහුවට දැන් අපි ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් ගස් ගල් වලට වැන්ද  කාලෙමයි. එකම වෙනස ඒ කාලේ වැන්ද ගස් ගල් වෙනුවට දැන් අපි පිළිම වලට වඳිනවා. බුදු හාමුදුරුවෝ කියල තියෙනවා බියෙන් තැතිගත් මිනිස්සු මේ විදියට හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඇත්තටම මිනිස්සු ගොඩක් වෙලාවට ඉන්නේ මාර භයකින්. ඇස් ඇරන් හිටියම යතාර්තය පෙනෙන නිසා දාගන්නවා අමුතු අමුතු කණ්නාඩි. එතකොට තමන්ට කැමති විදියට ෆැන්ටසියක ජීවත් වෙන්ඩ පුළුවන්. හැබැයි මේ ෆැන්ටසිය දෙදරන්න ගන්නකොට මේ මිනිස්සු පුදුම විදිහට කුපිත වෙනවා. බ්ලොග් වල ලියන එකත් එහෙම ෆැන්ටසි එකක් තහවුරු කර ගැනීමක්. තමන්ගේ ෆැන්ටසි එකට විරුද්ධ අදහසක් ආව හැටියේ සමහරු කුපිත වෙන හැටියෙන් ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්වය ගැන අදහසක් ගන්ඩ පුළුවන්.

වෙලාවකට මට හිතෙනවා බ්ලොග් අධ්‍යනනය කරලා කවුරුත් රිසර්ච් කරන්නේ නැතිද කියලා.

Comments

  1. ඒක මනුෂ්‍ය ස්වභාවය. පසුව සමහර විට පසුතැවෙනවා. ඒත් සමාජයම බය වෙලා ඉන්නේ, බය කරලා තියෙන්නේ. මේ ගැන අපූරු ළිපියක් රස්තියාදුකාරයත් ලියලා තිබුනා. මට දුක බ්ලොග් වල හොඳ ළිපි යන්නේ නෑ කියන බක පන්ඩිතයන්ට මේ ළිපි පේන්නේ නැති එක.

    ReplyDelete
    Replies
    1. //සමාජයම බය වෙලා ඉන්නේ, බය කරලා තියෙන්නේ//
      බයෙන් ඉන්න මිනිස්සුන්ව ලේසියෙන් රවට්ටන්න පුළුවන් නිසා වෙන්න ඇති

      ස්තුතියි මාතලන්

      Delete
  2. ඔන්න ඉතිං අද නං මට දෙයියනේ කියල මාතලං කිව්ව එකට එකග වෙන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ ...
      ඒ මොකෝ දේශකයා නිතරම මාතලන් කියන දේට හරහට ද ඉන්නේ? :D

      Delete
  3. "එකම වෙනස ඒ කාලේ වැන්ද ගස් ගල් වෙනුවට දැන් අපි පිළිම වලට වඳිනවා."
    තාමත් ගස් වලට වඳිනවා විතරක් නෙවෙයි නාවනවත් එක්ක

    ReplyDelete
    Replies
    1. කමක් නෑ වතාවත් කරාට, ප්‍රතිපත්තිය තියෙනවා නම්. ඒත් අඩුගානේ සුත්‍රයක තේරුම දැනගෙන සිංහලෙන් කියනවට වඩා තේරුම නොදැන මන්තරේ වගේ ජප කරන එක හොඳයි කියන මිනිස්සු ඉන්න රටක් මේක. දැන් ගොඩක් අයට ආගම ෆැෂන් එකක්. හරයක් නෑ

      Delete
  4. ///තමන් අත්විඳින එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් පදනම් කරගෙන 'ලේබල්' නිර්මාණය කරගන්න එක මෝඩ වගේම භයානක දෙයක්.// මේ දේ නම් අපේ මිනිස්සු කවදා වෙනස් කරගනීද .. ත්න්මන්ගේ පුද්ගලික අත්දැකීම මත සමහර දේවල් ගැන නිගමන වලට එන එක හරිම අනුවන වැඩක්...
    හොද ලිපියක් නීරෝ

    ReplyDelete
    Replies
    1. හැමෝටම "සංඛ්‍යානය සහ සම්භාවිතාව" අනිවාර්ය විෂයක් කරන්ඩ කියමුද?! :D

      ඔය කිව්වට Statistics special උපාධිත් තියෙන අමු අන්තවාදියොත් ඉන්නවා. නිකම් ගණිතයේ කෑල්ලක් හැටියට ඉගෙන ගත්තට අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන හැටි ඉගෙන ගන්නේ නෑනේ.

      Delete
  5. නිරෝ අක්කන්ඩි මෙහෙම ලියලා තිබුනා. පොඩ්ඩක් කියවලා බලන්නකෝ.
    කෙලින්ම නොවුනත් ඔයාගේ කතාවට සම්බන්දයක් තියෙන කතාවක්. http://pdissanayake.blogspot.it/2014/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒක කියෙව්වා බුරු. ස්තුතියි ලින්ක් එකට.

      මේ කෝ දැන් ඔය ළමයාගේ බ්ලොග් එක?

      Delete
    2. බුරු බබාට එපා වුනා වහලා දැම්මා. සිම්පල් ප්ලෑන් ... හෙ හේ

      Delete
  6. මටත් හිතාගන්න බැහැ ඇයි මිනිස්සු මේ ලේබල් ජීවිතවලට මෙච්චර ප්‍රිය කියලා. අනුන්ටත් ලේබල් ගහනවා, තමුනුත් ලේබල් අලවගන්නවා. තමන්ගේ මතය දිගහැරගෙන ඒක තමයි හරිම එක කියන්න උත්සාහගන්නවා.

    මටනම් සිදුවීමෙන් සිදුවීමට ඒහා බැඳුනු අනිකුත් සාධක එහා මෙහා කරලා බලනකොට පුළුවන් වෙනත් කෝණයකින් ඒ දෙස බලන්න. යාර ගනන් දිග තර්කයන් යතාර්තවාදීව බැලුවොත් අඟලක් තරම් වත් වටින්නේ නැහැ. එදා නිවැරදි දෙයක් අද වැරදි වෙන්න පුළුවන්. එදා රස දෙයක් අද එහෙම නොවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉඳන්ම අපි ව බ්‍රේන් වොෂ් කරන්නේ සම්ප්‍රදාය එක්ක යන්න - කවුරු හරි authority එකක් තියෙන කෙනෙක් කියන දෙයක් පිළිපදින්න - ඒක නිසා වෙන්න ඇති අපි හරි බයයි අපේම ස්වාධීන අදහසක් දරන්න.
      ලේබල් එකක් ඇතුලේ අපිට ආරක්ෂාවක් දැනෙනවා. ලේබලේ ඇතුළට රිංගුවාම ස්වාධීන වෙන්න ඕනේ නැහැ. ඒ නිසා වෙන්ඩ ඇති.

      Delete
  7. අවසාන ඡේදයේ තියෙන කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි.. මිනිස්සු කැමති නෑනේ තමන්ගේ ෆැන්ටසිය බිදවැටෙනවා බලන්න.. එතකොට හිතට දුකයි.. ඒ හන්දා ඉතින් අර කිවුවා වගේ කලබල වෙලා පිස්සු නටන එක ඉතින් පුදුමයකුත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්...අපි හැමෝම වගේ එක්තරා දුරකට ෆැන්ටසි නිර්මාණය කරගෙන ඉන්නේ. හැබැයි සමහරු පොළව පේන්න තියා පොළවක් නොතියෙන ගානට උඩ ෆැන්ටසි වල ජීවත් වෙන්නේ.

      Delete
  8. කියලා තියෙන දේවලට එකඟයි. අර වගේ සල්ලාල කොල්ලෙක් හම්බ උණාම කාලයක් යනකල් හරි කොල්ලෝ හැමෝම එපාවෙන එක නම් ඉතින් වලක්වන්ට බෑ, තවත් කොල්ලෙක් ඇවිත් හිත හදනකල්. කොල්ලොන්ටත් එහෙම ඇති. :D

    බ්ලොග් නම් ඉතින් වෙනම ලෝකයක්නේ. නරකද නිරෝ ඒ ගැන අධ්‍යනයක් පටන් ගත්තොත්...:)

    ReplyDelete
    Replies
    1. //අර වගේ සල්ලාල කොල්ලෙක් හම්බ උණාම කාලයක් යනකල් හරි කොල්ලෝ හැමෝම එපාවෙන එක නම් ඉතින් වලක්වන්ට බෑ, තවත් කොල්ලෙක් ඇවිත් හිත හදනකල්. //

      ඒක සාපේක්ෂයි පොඩ්ඩි. හැමෝම එහෙම හිතන්නේ නැහැ. තමුන්ට හිතෙන විදිය norm එක කියල හිතන එක වැරදියි. සමහර විට ඔයාට හිතෙන විදිය exception එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

      Delete
  9. //ඇස් ඇරන් හිටියම යතාර්තය පෙනෙන නිසා දාගන්නවා අමුතු අමුතු කණ්නාඩි. එතකොට තමන්ට කැමති විදියට ෆැන්ටසියක ජීවත් වෙන්ඩ පුළුවන්. හැබැයි මේ ෆැන්ටසිය දෙදරන්න ගන්නකොට මේ මිනිස්සු පුදුම විදිහට කුපිත වෙනවා. බ්ලොග් වල ලියන එකත් එහෙම ෆැන්ටසි එකක් තහවුරු කර ගැනීමක්.//

    පක්ෂ දේශපාලනය, ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල්, වගේ එව්වයේදීත් ජිවත් වෙන්නේ තමන්ම මවාගත්ත ෆැන්ටසියක. අහවල් නායක තුමා අපට රජෙක් දෙවියෙක් කියලා එතුමාව රජ කරවන්න දගලන පිරිස්, තමන් ආස කලත් තමන්ට නොලැබෙන ලෝකයක් මවාගෙන එකේ ජිවත් වෙන බුකියේ ෆේක් සෙට් එක ඒක ඒ ඒ අයගේ කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් තම තමන්ගේ කැමැත්ත.
      නමුත් තම තමන්ගේ ෆැන්ටසි වලින් අනිත් අයටත් හානි වෙන එක තමයි නරක.

      Delete
  10. මම හිතන්නේ සමහර වෙලාවට අපි ඔක්කොම එක එක පාට කණ්නාඩි දාගෙන ඉන්නවා. සමහර අයගේ කණ්නාඩි සෝ ඔබ්වියස්, සමහර අයගේ ඒවා එච්චර පේන්නේ නෑ. අන්තවාදය පිටුදැකීමේ ප්‍රධානම පියවරක් විදිහට මම දකින්නේ ස්වයං විවේචනයට ඇති හැකියාවයි. කෙනෙකුට තමන් කල වැරැද්දක් අවබෝධ වූ පසු එය පිළිගැනීමට ශක්තියක් තියනවා නම්, අන්තවාදයකට ඒ පුද්ගලයා යොමුවෙන්න තියන හැකියාව ඉතා අඩුයි. මොකද ජීවිතයේ එක එක කාල වකවානු අනුව අපි නොදැනීම අපි යම් යම් මතවාදවල එල්බගෙන ඉන්න පුළුවන්, නමුත් තමන් කරපු දේ ගැන අවබෝධය ලැබෙන මොහොතේ එයින් මිදීමට ඇති හැකියාව තමයි වැදගත්. තමන්ගේ ක්‍රියා ගැන සාධාරණ විනිශ්චයකින් බලන්න බැරි පුද්ගලයෝ කරන්නේ, තමන් කරන දේවල් 100% නිවැරදියි කියන තැන ඉඳන් ඒවා සාධාරණීකරනය කරන්න උත්සාහ කිරීම.

    අර අධ්‍යාපනේට 6% හම්බ වුණාම බ්ලොග් අධ්‍යයනය සිලබස් වලට දාන්න ඕනේ කියලා මමත් ඒ කාලේ යෝජනා කලා, කවුරුවත් ගණං ගත්තේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. මම දැකලා තියෙනවා හිතාගන්න බැරිතරමේ විකාර දේවල් උනත් සාධාරනීයකරණය කරන මිනිස්සු. මම වැරදි වෙන්න පුළුවන් කියන සිතුවිල්ල වත් ඔවුන්ට එන්නේ නැති හැටි හරි පුදුමයි.

      අන්තවාදයේ අනිත් කොන තමයි, අන්තවාදීන්ගේ පැවැත්ම රඳන්නේ 'එහෙයියෝ' නිසා. අපේ නරක ගතියක් තියෙනවා 'අපේ කෙනා' මොනවා කරත්, 'අපේ කමට' තැන දීල ඒක හරි කියන එක. තමන්ගේ කියලා කිසිම ස්වාධීන චින්තනයක් නැති නිසා අර උඩ කිව්වා වගේ අන්තවාදියෙක් මොනවා හරි කිව්වම ඒක ඔළුවට දාගන්නවා.

      Delete
  11. කරුනු දෙකක්

    ලෝකේ 80% වඩා හිතන්නේ තමුන් above average කියලාලූ

    මිනිස්සු ස්වාභාවිකව රැලක ජීවත් වෙන සත්ව කොට්ඨාශයක් ලූ

    ReplyDelete
    Replies
    1. හික් එහෙමත් හිතනවාලුද?
      තමන් අනිත් අයට වඩා අති විශේෂයි කියලා පෙන්නන්න මහ අමුතු දේවල් කරන අය මම හොඳින් දැකල තියෙනවා...
      ඒ ෆැන්ටසි බිඳ වැටෙන විට ඒ පුද්ගලයන් ලොකු මානසික වියවුලකට පත්වෙන හැටිත් පෙනෙනවා.

      Delete
  12. හැමෝම සාපේක්ෂයි,

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හැමදේම නෙමේ යාලු...

      Delete
  13. X Y X Y X Y X Y X Y X Y X Y X Y X Y X Y X Y X Y X ‍ය්
    ගණන් පන්තියක අතරමන් උනා වගේ. :D

    ReplyDelete
    Replies
    1. ගණිතය කියන්නේ විශ්වයේ භාෂාව :)

      Delete

Post a Comment