Skip to main content

දස වසරකට පෙර: හන්තානේ ගල් පෙරලුනු හැටි

දැනට අවුරුදු දහයකට එපිට සිද්ධ වෙච්ච දෙයක් මේ... ඇත්තටම කිව්වොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඒ උනත් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර අවුරුදු දහයක පරතරයක් තියෙනවා කියල මගේ හිත පිළිගන්නෙම නැහැ.

.... මම හිතන්නේ ඒ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුගේ හීන හැබෑ උණු අවුරුද්දක්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද එහෙම තමයි. ඒ ලෙවල් රේස් දුවල දුවල හති වැටුණු හිත ට ලස්සන තරුණ කාලේ චමත්කාරය දැනෙන්න පටන් ගත්ත කාලයක්....

මේ ලියන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන...අපි ඒ ට්‍රිප් එක ගිහිං ඇවිත් සහභාගී උණු ලෙක්චර් එකකදී එක සර් කෙනෙක් කිව්වා "ඕගොල්ලෝ මෙහෙන් අවුට් වෙලා ගිහින් අවුරුදු දහයකට පස්සෙ හිතනවද ජාවා ප්‍රෝග්‍රෑම් ලිව්ව හැටි කතාකරාවී කියල? නැහැ! ඔයාල ට මතක් වෙන්නේ ඔය ගමන!" කියලා.
ඉතින් ඇත්ත නේන්නම්...අපේ ඒ කුළුඳුල් බැච් ට්‍රිප් එක එච්චරටම විශේෂයි :) මොකද කොළඹ ඉඳන් හන්තානට ගිය අපි, ආපහු ආවේ හන්තානේ ගල් පෙරළලා, කඩාවැටුණු දිරච්ච ගස් වලට යන්තම් අහු නොවී, හන්තාන කන්දේ අතරමං වෙලා, වැටිලා, පෙරලිලා, බඩගාලා, පේරාදෙණිය ඉස්පිරිතාලෙන් මැහුමුත් දාගෙන!

ඒ ට්‍රිප් එක අපි ගියේ සයන්ස් ෆැකල්ටි එකේ යාලුවොත් එක්ක. එතකොට අපෙ එකසිය විස්සෙන් මම හිතන්නේ සීයක් විතර යන්න ඇති. ෆිසික්ස් බයෝ කට්ටිය ත් ඒකට එකතු කරාම කීයක් විතර ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවනිනේ...හාරසීයක්? ම්ම් ඊටත් වැඩිය ඉන්න ඇති...

ඒ උනත් විශ්වාස කරන්න පුලුවනිද, එච්චර සේනාවක් එක්ක ගිහිල්ලත් අපේ බාගයක් විතර හන්තාන කන්ද නගින අතරමඟ පාර වැරදිලා කොහේදෝ ගිරි දුර්ගයක් තරණය කරන්න ගිහින් පුදුම අමාරුවක වැටුණ කියලා?!

ඔව් ඔව් ඉතින් ඒ වාසනාවන්ත පිරිස අතර මේ මමත් හිටිය තමයි :D

අපි කට්ටිය ඔහොම වැරදි පාරේ යන්න ගියේ කොතනදීද මොන වෙලාවේදීද කියන්න නම් කවුරුත් දැනන් හිටියේ නැහැ. කොටින්ම මගේ 'බඩේ බත් සෙට් එකේ' හතර දෙනාගෙන් දෙන්නෙකුත් කොහොම හරි නිවැරදි මාර්ගයේ ගිහින්! ඒත් ඒ නුවනක්කාරියෝ දෙන්න මටයි  අනිත් මැට්ටි චතුටයි මඟ ඇරුන විත්තිය වත් අපිට තේරුනේ බොහොම වෙලාවක් ගියාට පස්සේ!

මම හිතන්නේ අපි ඒ වෙනකොට තරණය කරන්න හරිම අමාරු හරියක් පහු කරමින් හිටිය හන්දා වෙන්න ඕනේ. ඒ හරියේ හරිම බෑවුම. ගස් වල කොළ වැටිලා නිසා පුදුම විදිහට ලෙස්සනවා. ඉතින් නවතින්න බැහැ, දිගටම නැගගෙන නැගගෙන යන්න ඕනේ. අපි ගොඩක් අය නැග්ගේ ගස් ගල් බදාගෙන. ඉතින් නවත්තන්නේ නැතුව ඔහොම මේ ලෝකේ සිහියක් නැතුව පරාන බයෙන් නැගගෙන ගිය හන්දා එකට ආපු කට්ටිය දෙකට බෙදිලා, එක කට්ටියක් නියමිත පාරෙත්, අනිත් කට්ටිය වැරදි පාරෙත් යන්න ඇති!

ඉතින් කොහොම හරි අපි ට ටිකක් යද්දී තේරුනා මේක නම් හරි පාර වෙන්න බැහැ කියලා. මොකද සමහර තැන් නිකං බඩගාගෙන වගේ නගින්න උනේ!

හැබැයි ඉතින් ඔය කඳු බෑවුම් සමහරුන්ට නම් වෙස්වලාගත් ආශීර්වාද යක් උනා ලු! බැච් එකේ පළවෙනි කපල් එක සෙට් උනෙත් මේ වැරදි පාරේ මහානුභාවයෙන් තමයි. මොකද නගින්න අමාරු අයට අත දෙන්නත්, වැටෙන අය අල්ලගන්නත් ඇප කැප වෙච්ච අය හිටියනේ...ඒවා ඉතින් ප්‍රසිද්ධ රහස් :D


ඔන්න ඉතින් අපි ඔහොම බොහොම දුක්ඛිත තත්වයකට පත්වෙලා ඉන්න කොට තමයි කොරේ පිටට මරේ කියන්නා වගේ කන්ද උඩ ඉඳන් ලොකු ගලක් පෙරලීගෙන පෙරලීගෙන ආවේ!
අර දේවදත්ත උඩ ඉඳන් පෙරලුවේ. අන්න ඒ වගේ.
ඒක කොච්චර වේගෙන් ආවද කියනවා නම් මට නම් රිඇක්ට් කරන්න වත් වෙලාවක් තිබුනේ නැහැ...මගේ පෙර පිනකට ගල මා දිහාවට ආවේ නැහැ. ඒ උනත් වෙන අවාසනාවන්ත සොහොයුරියකට ඒ නපුරු ගල ලොකුවට තුවාල කරලා තිබුනා! එයාට නැගිට ගන්න බැරි තරමට ගල නිසා තුවාල වෙලා! අපි ගෑනු ළමයි පුළුවන් විදියට ලේ නවත්තන්න පොඩි පොඩි දේවල් කරත් ඒ ළමයාගේ වේදනාව නවත්තන්න අපිට කරන්න දෙයක් තිබුනේ නැහැ!

හන්තාන මුදුනට නගින එක දැන් හබක්. අපි ඒක අතැරලා දැම්මා. දැන් අපි ට තියෙන එකම අරමුණ මේ තුවාලකාරි ව අරගෙන ඉක්මනට පහළට බහින එක.

ඒත් හොඳට ඉන්න අපටත් මේ බෑවුම් බහින්න අමාරු එකේ කොහොමද මේ ළමයා බහින්නේ?
වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ...පිරිමි ළමයි ඉදිරිපත් උනා ඒ සහෝදරීව වඩාගෙන යන්න. ඇත්තමට ඒක හරිම අමාරු වැඩක්. එක පැත්තකින් තනිවම උනත් බහින්න අමාරු බෑවුම්! අනික් පැත්තෙන් තුවාල පාරන්නේ නැතුව අල්ලන්නත් ඕනේ!
අනිත් එක ඒ ළමයා මුස්ලිම් සහෝදරියක්. ඉතින් ඒ කාරණය ගැනත් සංවේදී වෙන්න උනා.


ඔය බැස්ස බැහිල්ල තරම් අමාරු ගමනක් මම තවම ගිහින් නැහැ ඇත්තටම!

ඒ ගමනේදී මට මතකයි එක යාලුවෙක් මහන්සියට ගහකට හේත්තු උන වෙලාවේ දිරල ද කොහේදෝ ඒ ගහත් කඩාගෙන වැටිලා පහතට පෙරලීගෙන ගිය හැටි!

කොහොමින් කොහොම හරි අපි යන්තම් පාර හොයාගෙන, තුවාලකාරි වඩාගෙන බැස්ස.
දෙතුන් දෙනෙක් ඉක්මනට ත්‍රී වීල් එකක් කතාකරලා ඒ සොහොයුරී ව පේරාදෙණි රෝහලට අරන් ගියා.

අනික් කට්ටිය අපි මැරිලා වගේ පිපාසෙන් හාමතෙන් බස් එකට හිමින් හිමින් ගාටලා ගිහිං නැග ගත්තා.
(අර සෙට් උණු කපල් එක නම් ඉතින් පාවී පාවී ඇවිත් කන්දේදී අත අල්ලගත්ත එක එහෙම්මම බස් එකෙත් කොනකට වෙලා හිටියා :D )

තුවාලෙට බෙහෙත් දාල, මැහුමුත් දමාගෙන අපි එහෙන් පිටවෙද්දී රෑ 8 ත් පහුවෙලා!

මට මතකයි අපි හිටියේ පාන් කියාගන්න බැරුව.
එකෙක් කිව්වා "අනේ බං අද ගෙදෙට්ට වෙලා අර මොකද්ද යසෝධා නාහෙන් අඬන කතාව? අන්න ඒක බැලුවන් මීට හොඳයි"" කියල.
(හැබැයි ඒකට වැරදිලා. එදා ගියේ යසෝධා අඬන කතාව නෙවෙයි - බෝගල සවුන්දිරිස් :D )

ළමය උස්සන් ආපු කොල්ලන්ට අපිට වඩා මහන්සියි. ඒත් එයාල ඒ ගැන හිටියේ සතුටින්. කෙනෙක්ට උදව් කරන්න හැකි වීම ගැන ආඩම්බරෙන්.

රෑ දහය වෙද්දී කොළඹට එන්න හිටපු අපි කොළඹ එද්දී රෑ දොළහයි.
ගෙවල් වලින් අහගත්තු කුණු බැනුම් ආයේ කියන්න ඕනේ නැහැනේ :D


හැබැයි කකුල් කඩාගෙන දුක් විඳගෙන ගිහින් අපි ගොඩක් වටින දෙයක් හොයාගෙන තිබුනා! අර කතාවට කියන්නේ "It's not about the destination, its about the journey" කියලා...හිතුවේ නැති අවස්ථාවකදී උණු කරදරේකට කලබල නොවී, බේද නැතිව එකමුතු වෙලා මුහුණ දීල, අපි ලොකු අත්දැකීමක් අරන් තිබුණා!


අන්තිමට අර නපුරු ගලට පින් සිද්ද වෙන්න බැච් එක හොඳටම ෆිට් වෙලා අඳුන ගත්ත විතරක් නෙවෙයි, අපිට ජීවිත කාලයක් සිහි කරන්න මතක ගොඩකුත් ලැබිලා තිබුණා!


PS: අර ජෝඩුව මීට අවුරුදු කීපෙකට කළින් කසාද බැන්දා :)

Comments

  1. ඔව්ව අනුහස් තියෙන තැන්.

    මේ කොළඹ කැම්පස් ලමිස්සියෝ ඇවිල්ලා කට වරද්දා ගන්න ඇති!

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙමත් තැනක්ද? කතන්දර ගේ අඩවිය වෙන්න ඇති :D

      Delete
  2. අතුරු කතාවක්.
    මාත් ජාවා ඉගෙන ගත්තේ 2001 දී විතර. අයියෝ අර නවදැලිහේනේ 1992 දී ඉඳලා දන්න කියන C++ වඳුරු පැටියා ගැන පව් කියලා හිතුණා!

    ReplyDelete
    Replies
    1. C++ වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ජාවා ඊට වැඩිය භාවිතය ලේසියි. :)

      Delete
  3. ඔවගෙ දෙවල් වලින් තමයි එකමුතුව හැදෙන්නෙ.නැතුව කිසි කරදරය නැතුව සනිපෙට ජිවිතෙ ගියොත් ඔක්කොම හිතයි තනියම ජිවත් වෙන්න පුලුවන් කීයල

    ReplyDelete
    Replies
    1. ඔව් පොතින් පතෙන් ලබපු දැනුමටත් වඩා වටින දේ මට ලැබුණා කැම්පස් ජීවිතෙන්.

      Delete
  4. කට්ටිය මල් කඩ කඩා ගිහිල්ලා තමා පාර වැරදිලා තියෙන්නේ.. දැන් මෙයා අපට බොරුවට කොළ කඩා පාන්ට යනවා, අපිත් ඔය ගහ අඳුරනවා.. :P

    ReplyDelete
    Replies
    1. මෙන්න හන්තානේ ගස්වලින් මල් කඩපු එක්කෙනෙක්!!! :D

      Delete

    2. @Buratheno

      නැහ්! ඔයත් අඳුනනවද? ඉතින් ඒ ගස හැර වෙනත් ගසුත් තිබේද? :P

      Delete
    3. @Podi Kumarihami
      අපි යද්දී එහෙ ගස් වල මල් තිබුනේ නැහැලු...මොකද බුරතීනෝ ල තිබ්බ ඒවා ඔක්කොම කඩල ලු. :D

      Delete
  5. අපි ඉතින් කැම්පස් නොගිය නිසා බැච් ට්‍රිප් නම් ගිහින් නෑ. ඒත් අවුරුදු 3 නුවර ඉඳපු නිසා හන්තානේ නම් ගිහින් තියනවා. කොහෙන් නැගලා කොහෙන් බැස්සද කියන්න තරම් තේරුමක් නෑ. මොකද අර කිව්වා වගේ it was about the journey and specially, what you consumed during the journey.. :)

    ReplyDelete
    Replies
    1. ආඃ ඔයාල එහෙම consume කරලත් මෙහෙම පාර වරද්ද ගත්තේ නැද්ද? :D

      Delete
  6. පොඩ්ඩි නැගපු හන්තාන නම් මේ වගේ වේලිලා තිබ්බේ නෑ. නැග්ගේ අප්පච්චිගේ යාලුවන්ගේ පුතාලා කට්ටියක් එක්ක. ආ... දුවලත් හිටියලු. :D:D

    කිව්වත් වගේ කට්ටිය මල් කඩ කඩ යන්ට ඇති. නැත්නම් බයේ පණ ගැහි ගැහි යන්ට ඇති. :)

    ReplyDelete
    Replies
    1. මල් කඩ කඩ පණ බයේ නැග්ගා වෙන්ඩ බැරිද? :P

      Delete
  7. අපි දැන් කට්ටියම එකම කාලෙට ගෝ එකට පෝස්ට් ලියන්න යනවද මන්දා?
    දන්නවා නම් අපිත් මාත් කොල්ලෙක් සෙට් කරගන්න ඉස්සර ලංකාවේ කැම්පස් යනවා... ;) කොහෙද අපි හන්තානේ ගියේ සෙට් වෙලාමනේ... ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි නම් ඔය කැම්පස් කොල්ලෝ දිහා බැලුවේවත් නැහැ ;)

      ඔයාට එන්න තිබ්බේ අපේ බැච් එකට. එකේ එක කෙල්ලට කොල්ලෝ පහ අනුපාතෙන් හිටියේ! :D :D

      Delete
  8. මේ ඒක නෙමේ.....ඔය හන්තානට පායන හඳ....ඇත්තටම ලස්සනයිද කියන්න.....

    ReplyDelete
    Replies
    1. හන්තානේ හඳ නම් දැකල නෑ... කොළඹ රීඩ් මාවත පැත්තට පායපු හඳ නම් දැක්කා.
      හැබැයි ඉතින් ඔය දෙකම එකයි. :)

      Delete
  9. මම හිතුව මේ අර දවස් ගානක් කැලේ අතරමං වෙලා, කන්න බොන්න නැතුව ඉඳල, බොහොම දුක් විඳල ආපු කැම්පස් එකේ කට්ටිය එක්ක මෙයත් හිටිය කියල. ඒ දවස් වල පත්තරෙත් ගියෙ. ! දන්නෙ නැති අලුත මුණ ගැහුන කට්ටියක් ෆිට් වෙන්න තියෙන හොඳම ක්‍රමේ තමා ඔහොම ගමනක් යන එක. ඒකනෙ ඔය කම්පැනි වලින් ලක්ෂ ගණන් ගෙවාගෙන outward bound training යවන්නෙ. හන්තානට යැව්ව නං හරි ! :D

    ReplyDelete
    Replies
    1. /*දන්නෙ නැති අලුත මුණ ගැහුන කට්ටියක් ෆිට් වෙන්න තියෙන හොඳම ක්‍රමේ තමා ඔහොම ගමනක් යන එක. ඒකනෙ ඔය කම්පැනි වලින් ලක්ෂ ගණන් ගෙවාගෙන outward bound training යවන්නෙ*/

      ඔව් හන්තාන නගින්න පළවෙනි බැච් ට්‍රිප් එක යන සම්ප්‍රදාය තියෙන්නෙත් ඒක වෙන්න ඇති. But we took it to another level :D :D

      Delete

Post a Comment