Skip to main content

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය!
මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි.

එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය...
දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය...

අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය.

උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය.
ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි.

ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය.
ඒ ඉස්තෝප්පුවේ කෙතරම් මතක සැඟවී ඇතිද?!

ඉතාම කුඩා කාලයේ දිනක අම්මා මට සුදු රට හුණු කූරක් දී ඉස්තෝප්පු බිම චිත්‍ර අඳින්නට කියා දුන්නේ ලු. එදා පටන් බොහෝ වාරයක් මා ඒ දිගු ඉස්තෝප්පුව දිගට පැය ගණන් සතුටින් බලි කුරුටු ඇන්දාලු!
සවස් වන විට අම්මා තෙත රෙදි කඩක් ගන්නේ මගේ කැන්වසය මකා දමන්නය. එහෙත් චිත්‍ර මැකුවාට මම දුක්වූ බවක් මතක නැත. ඊළඟ උදයේ නැවතත් මම ඉස්තෝප්පු බිම රට හුණු චිත්‍ර වලින් පුරවන නිසා විය හැකිය.

සිංහල අවුරුද්දට නෑදෑ පිරිස කාඩ් සෙල්ලම් කරන්නට රැස් වුයේ ද ඒ ඉස්තෝප්පුවේ ය. තිස් එක, ඕමි, තුන්සිය හතර, පමණක් නොව සල්ලි වලටත් නැන්දලා මාමලා ආච්චිලා සීයලා සෙල්ලම් කලේ එහි තබා තුබුණු වේවැල් පුටු සහ අයිනේ සිමෙන්ති ගැට්ටේ හිඳ ගෙනය. 'බෑන්ක්ස්‌' කියා හැඳින්වුණු සෙල්ලමකදී මම සත පනහේ කාසියක් තාත්තාගෙන් ඉල්ලා ගෙන රුපියල පහක් දිනුවේ එවන් අවුරුදු දිනක දීය.

ආච්චි අම්මාගේ හත් දවසේ දානය දා පැන් වැඩුවේ ද මේ ඉස්තෝප්පු කොනක හිඳ ය.
එයින් පසු එළඹුණු අවුරුදු දින වල කාඩ් සෙල්ලම් කරන්නට වත්, නිවස පිටුපස මිදුලේ තැනු දර ලිපේ කළු දොදොල් හදන්නට වත්, ඒ හැදෙන දොදොල් වලින් පෑදුනු තෙල් වලින් කැවුම් බදින්නට වත් කවුරුත් ඒ ගෙදර සිටියේ නැත.

ආච්චි අම්මා සහ සීයා ගේ චිතක දල්වා බොහෝ කල් ගෙවී ගොසිණි.

එහෙත් තවම ඔවුන් මිය ගොස් නැතැයි මට විටෙක සිතේ. අඹ පලුවක, දෙළුම් ගෙඩියක මතුවන ඇඹුල් පැණි රස මතක අතරින් ඔවුන් දෙදෙනා මා හද කොනක තවමත් ජීවමානව සිටී...

Comments

  1. ඔබ මේ සඳහන් කරන පෙදෙස අම්බලන්ගොඩ නොවේදැයි මට නිකමට හිතෙනවා. මමත් හීනෙනුත් ජීවත් වෙන්න ආසා කරන පැත්තක්. ඇඹුල් ගැන කතා කලත් මගේ දත් හිරි වැටෙනවානේ කරුමේ කියන්නේ. වයසට ගියාම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතුන එක හරි :)

      Delete
    2. හ්ම්ම්ම්ම් ඒ තියෙන ගැමි කමට මනුස්ස කම් වලට හිත ඇදිලා යන්නේ තමන්ටත් හොරෙන්

      Delete
    3. මනුස්සකම් ඇති මිනිසුන් ලොව සියලු කොණකම ඇතත්, අපේ හදවත් තුල වෙසෙන මිනිසුන් හා බැඳුනු ගම් නගර සමඟ අපි වැඩියෙන් ආදරයෙන් බැඳෙනවා...නේද?

      මේ අපේ අම්මිගේ ගම. ඔයාගේ කමෙන්ට් එක පෙන්වන්න ඕනේ...එයා ගොඩක් සතුටු වේවි :)

      Delete
    4. ඒ මගෙත් අම්මිගේ ගම මම අදටත් නිවාඩුවක් ලද හැම විටම එහි දිව යන්නේ ඇඹුල් තියල් බලමාළුවක් එක්ක පොල්සම්බලයක් හදන කැකුළු හාලේ බත් ටිකක් බිලිං අච්චාරුවක් එක්ක රසබලන්නත් පුෂ් බයිසිකලයක් අරං කෙරමිනිය පොල්වත්ත වතුගෙදර පැත්තේ නිදහසේ පැදයන්නත් මම ආසයි පොඩි කාලේ කළා වගේ නමුත් අවාසනාවට රැකියාවේ ස්වභාවය නිසාවෙන් අවුරුද්දකට වතාවයි මට මෙවැනි දේ අත්විඳින්න ලැබෙන්න ඔයාගේ අම්මිට කියන්න එයාලා හරිම වාසනාවන්තයි කියල එවැනි පෙදෙසක ඉපදෙන්න.

      Delete
    5. හ්ම්ම් ඒ නම් මටත් පුරුදුයි ...කෙරමිණියේ ආච්චි කියල කවුරුහරි හිටියා...තව...පොල්වත්තේ සීයා කෙනෙකුත් හිටියා...:)

      Delete
  2. ඔයාගෙ මතකයන් හරිම රසවත්,කියවගෙන යද්දී ගොඩක් චිත්තරූප මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...මතක වල රස මේ අකුරු වලට වඩා බොහොම වැඩියි... :)

      Delete
  3. අම්මා තාත්තටත් වඩා දරුවන්ට ආදරේ ආච්චිලා සීයලා කියලා කියනවනේ..

    ReplyDelete
    Replies
    1. ආච්චිලා සීයලා නැති ළමයි පව්...

      Delete
  4. හරි අසාධාරනයි අඹ මතක් කල එක.
    (උයලා කෑම නම් නෙමෙයි මගේ ආසම ඉදුණු අඹ කෑමය. )
    නිරෝ මේ නොස්ටැල්ජික් මතක එක්ක කතා ගැන කෙළවරක් නැති හැටි. මටත් අපේ ගෙදර වත්ත කිරි අම්මලාගේ වත්ත හෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ. කොහෙද ඉතින් ගහක් ගලක් තියෙන රටක හිටියා නම් අපිටත් මේවා ගානක්වත් තියෙන එකක් නෑ කියලා ඔය අනිත් ඈයෝ නම් කියන්නේ. ඒ වුනාට ඒකම නෙමෙයි අපේ මතක එක්ක අර හැමදේම බැඳිලා නේද?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කර්තකොලොම්බු පිරිලා..

      Delete
    2. කියලා වැඩක් නෑ. මම ලංකාවට එන කාලෙට එක අඹයක් නෑ. මම නැති වුනාම ඔක්කොම අඹ එහේ.

      Delete
    3. ඔය පැත්තේ නැතිද බුරු බබෝ පැණි රස අඹ ඉතින්?
      මේ ලෝකේ කෙළවරට පොඩ්ඩක් උඩින් ඉන්න අපේ පැත්තේ ත් අඹ වැවෙන්නේ නැති උනත් උඩ ඉන්දියන් සාගර වෙරළ මායිමෙන් අඹ ලැබෙනවා...ඒත් කොළ පාට ඇඹුල් අඹ හොයන්න අමාරුයි. මං හිතන්නේ වැඩි වෙළඳ පොළක් තියෙන්නේ පැණි රස ඒවලට වෙන්ඩැති. කොහෙද මේකේ ඉන්න සුද්දෝ දන්නවයි අඹ අච්චාරු වල රස..ඒගොල්ලොන්ට කොච්චරවත් පැණි රස මනේ ඕනේ..

      // ඒ වුනාට ඒකම නෙමෙයි අපේ මතක එක්ක අර හැමදේම බැඳිලා නේද? //
      අනිවා...මම හිතන්නේ ලෝකේ කොහෙද කියන එක නෙවෙයි වැදගත්. අපි ආදරය කරන මිනිස්සු එක්ක බැඳුනු තැන් කොහේ උණත් අපිට ආදරණීය යි. ඒක ලංකාවේ වෙරළ බඩ ද, නුවර ද, හිම වැටුණු රටක්ද නැත්නම් අප්‍රිකාවේ කාන්තාරයක්ද කියල අදාළ නැහැ...

      ලංකාවේ අපේ පැත්තේ නම් අඹ වාරේ එන්නේ මාර්තු අප්‍රේල් අල්ලලා...කර්තකොලම්බන් කියද්දී මතක් වෙන්නෙම අර අයිස් ක්‍රීම් එකනේ!

      Delete
    4. දැන් කර්තකොලොම්බන් අයිස්ක්‍රීම්ත් තියෙනවද?
      මම නොයන නිසා ඉන්දියන මාකට් එක පැත්තේ මට අඹ ලැබෙන්නෙ නෑ. ඒත් ඉඳලා හිටලා මගේ යාළුවෝ ගෙනත් දෙනවා. ගෙඩියක් දෙකක්. ඒ වුනාට ලංකාවේ අඹ වලට ගහන්න අඹ හමු වෙලාම නෑ. සුපර්මාකට් එකේ තියෙන්නෙ බ්‍රසිල් අඹ. අර රන්වන් රතු කොළපාට ඒක. ඒක පොල් කනවා වගේ. මම ඒකට ආස නෑ. අනික දඹුල්ලේ ගිහිනුත් මායි මලීයි ට අඹ වික්කේ රුපියල් සීයට. කොහෙද කොළඹ තියෙන ඒවා බෙහෙත් ගහලා කියලා කන්න විදියකුත් නෑනේ.

      Delete
    5. කර්තකොලොම්බන් අයිස්ක්‍රීම් දැන් තියෙනවද දන්නේ නෑ බුරු...දැනට අවුරුදු පහකට වගේ ඉස්සර නම් ලංකාවේ තිබුනා...ඒක මට නම් අල්ලලා ගියේ නැහැ...ඉන්දියන් මාකට් වල mango lassi එහෙම ඇති නේද? ම්ම් ඒකට නම් මාර ආසයි!

      Delete
  5. සත පනහකින් රුපියල් පහක් නරක නැ . සූදු චාන්ස් කාරියෙක් වාගෙයි , නරකද කැසිනෝ එකක් පැත්තේ ගියානං

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත ඉස්සර කිව්වේ ළමයි දෙන්න ඉගෙන නොගත්තත් බය නැහැ සුදූ පොළක් හරි දාගෙන ඉඳීවි කියල. :D

      Delete
  6. ඔබේ කෙටි සටහන් දීර්ඝ මතකයන් අවදි කරනවා.


    Granny Smithහෝ Bramley Apples ගෙන පොතු පිටින්ම අඹ උයන විදිහටම උයන්න.අඹ ඇඹරල්ලා තරම් වැඩි වැඩිවෙලාවක් cook කරන්න එපා. උම්බලකඩ ටිකක් එකතුකරන්න.

    ReplyDelete
    Replies
    1. මාත් මේකනම් ට්‍රයි කරනවා. මගේ ආසම කෑමක්.

      Delete
    2. ඔව් අරූ...මම එහෙම ඇපල් උයනවා ඉඳල හිටලා...ඒත් අඹ මාළුව තරම් කොහෙද ඉතින්...
      මට හිතිලා තියෙන්නේ රුබාර්බ් උයල බලන්න.

      Delete
    3. රුබාර්බ් කියන්නෙ මම හරිම පෙරේත කෑමක්.. ඉස්සර නුවරඑළියෙ ලොකු නැන්දලා අපේ ගෙදර එද්දි අනිවාර්යයෙන්ම රුබාර්බ් අරන් එනවා.. උයන ඒවායින් බාගෙකට විතර වගකියන්නෙ මම.. :D

      Delete
    4. මාත් ආසයි බුරතීනෝ.
      ඔයාල ඒක උයල තියෙනවද? මම රුබාබ් වලින් අතුරුපස විතරයි තාම හදල තියෙන්නේ. මට හිතෙනවා මිරිස් තුනපහ දාල කරී එකක් විදිහට ත් හොඳ වෙයි කියල.

      Delete
    5. මම නං උයලා නෑ තාම.. ඒත් අපේ අම්මා ඉස්සර උයනවා.. පොඩි ඇඹුල් රහක් එක්ක තමා කරි එකේ රස එන්නෙ..

      Delete
    6. බොහෝ දුරට අතුරුපසවලට තමයි හොඳ....Beef. Pork වගේ Red Meat එක්ක Stew හෝ කරි එකකට Add-Up Veg එකක් හැටියට ට්‍රයි කරන්න.


      @බුරා......ඔය කියන්නේ රුබාබ්ද? නැත්නම් Chayote ද (චව් චව් )

      Delete
    7. අපේ සුපර්මාකට් එකේ Chayote තියෙනවා. ඒක උයන්නේ කොහොමද?
      ඇපල් කරි එක නම් මම ඉඳලා හිටලා කනවා දිව්‍ය ලෝකේ රස.
      මටත් ප්‍රශ්නේ රුබාබ් කියන්නේ අර රතු කොළ තියෙන එකනේ. ඒක බීට් රූට් වර්ගයක් නෙමෙයිද? මම ඒවා සැලඩ් වගේ කන්නේ.

      Delete
    8. රුබාර්බ් කියන්නේ මේක:
      එකේ කොළ කොල පාටයි. දඬු රෝස පාටයි. දඬු විතරයි කන්නේ. කොළ කන්න එපා ඔන්න...වස!!

      එකෙන් අතුරුපස ට නම් බටහිර ක්‍රමයට රෙසිපි ගොඩක් තියෙනවා. ඔය දඬු සීනි එක්ක බේක් කරලා ඒක නිවුනට පස්සේ fruit trifle එහෙකට ගතහැකි...crumble හදන්නත් පුළුවන්...රුබාර්බ් වල තියෙන්නේ යන්තම් පැණි රහක් එක්ක ඇඹුල් රහක්....

      Delete
    9. ඒක තමයි මාත් කීවේ. මම ඒකේ රතු පාට බටේ භාගෙට කන්ඩිමෙන්ට් කරලා කනවා. ඒකෙන් ලිකර් එකකුත් හදනවා. ඒවත් බොනවා ආෆ්ටර් මීල්. ඩෙසර්ට් එකත් කාලා තියෙනවා. ඒක බත් වලට උයන්න දන්නේ නෑ.

      Delete
    10. අහ්හ් ඒක ද කිව්වේ? හරි හරි...
      ඔය බුරතීනෝ කියන්නේ බත් වලට කන්න හදන්න පුළුවන් කියල...මම ගුගල් සර්ච් කරලා බැලුවා..තායි රෙසිපි නම් තියෙනවා රුබාර්බ් පොල් කිරි දාල කරී එකක් විදිහට හදන්න.

      Delete
    11. රංගි.........චව් චව් අයිති වට්ටක්කා පුහුල් ගොඩටමයි...අපේ විදිහට හදනවානම් වට්ටක්කා කළුපොල් කරි එක විදිහට හදන්න. පොතු හරින්න. වෙස්ටන් කුකින්ග් නම් ක්‍රම ගොඩයි. පෙති කපලා සීසන් කරලා නිකම් ඔලිව් ඔයිල් එක්ක saute කරලා roastඑකක් එක්ක side dish එකකට හොඳයි. Ratatouille එකකට ඇඩ් කරන්නත් පුළුවන්. තව වැඩ කෝටියක් තියෙනවා.

      රුබාබ් නම් Celery වගේනේ.දන්ඩ විතරයි කන්නේ. trim කරලා පාවිච්චි කරන්න. කොල අහක දාන්න. විෂවෙන්න පුළුවන් .

      Delete
    12. අම්මෝ අරූ හොඳ කුක් කෙනෙක් වගෙයි...කිව්ව එක හොඳයි. චව් චව් හදන්න මමත් දැනන් හිටියේ නැහැ. නිකන් කෑව මිසක්.

      Delete
    13. @අරූ,

      රුබාර්බ් රුබාර්බ්.. චව් චව් වල ඇඹුල් ගතියක් නැහැ නේ..

      @අනිත් ළමායි,

      කරි එකක් විදියට හදලා බලාන්ටකෝ.. අපි සාමාන්‍යයෙන් ලංකාවෙ කරි උයන විදියට උයලා පොල් කිරි ටිකක් දාලා හින්දලා ගන්ට.. කොහොමත් රුබාර්බ්වල වතුර ගතිය වැඩි නිසා කරි එක එන්නෙ ටිකක් දිය ගතියට, හරියට අර තෝසෙ කන්ට හදන සුදු පාට සම්බලේ වගේ.. :)

      ps: කොළ ඇත්තටම වසද!? මට මතක විදියට අපේ දිහා කොළත් හැදුවද මන්දා.. කෝකටත් අම්මගෙන් අහලා බලාන්ට ඕන.. :(

      Delete
    14. වට්ටක්කා කලුපොල් හදන්න නොදනිමි. මම දන්නේ ඔක්කොම එකට දාලා උයන්න. මේක කොහොම හරි කන්න ඕනේ. (මම දැන් මේ ඔක්ටපස් ලංකාවේ විදියට උයලා කාලා ඉන්නේ. ) මේ බ්ලොග් කෙරුවාවේ හොඳම හරිය තමයි අපි නිකම්ම එක එක දේවල් උයන්න ඉගෙන ගන්න එක.
      දැන් යන්න බාර් එක පැත්තට කෝපි එකක් බීලා රූබාර්බ් ශොට් එකක් දාලා කෑම දිරව ගන්න.

      Delete
    15. රුබාබ් විසයි කියල කාලයක් විශ්වාස කල බවත් දැන් එහෙම නැති බවත් අපේ ලොක්කි කිවා මතකයි. රුබාබ් ජෑම් නම් කාල තියෙනව චව් චව් මන් නම් උයන්නේ සාමාන්‍යයෙන් තුනපහ දාල යන්තම් වතුර ඉහල ඒකෙ වතුරෙන්ම වගේ තැම්බෙන්න අරිනවා . මිටි කිරි පොඩ්ඩක් දාල කළු කුඩු ටිකක් ඉහල ගත්තම රසයි...

      Delete
    16. අම්මෝ මේ ලමයින්ගේ පෙරේතකම...:D

      Delete
  7. ඉදුණු අඹ අරෙන්න ඇඹුල් අඹ කෑම නම් කිසිදිනක නොකලෙමි.... අඹ උයා කන්නට ද ඇත්තේ එවැනිම වූ අකමැත්තකි... හැබැ‍යි අපිටත් ඉස්තෝප්පුවක් තිබුණි.... කොට බිත්තියක්ද තිබුණි... අඹ, රඹුටන්, ලොවි, ජම්බු, ඇඹරැල්ලා, බිලිං ආදී සියලු ගස් ද තිබුණි.... මතකයන් බොහෝ ඇත, ලියන්නට හිතෙන්නේම නැත....

    ReplyDelete
    Replies
    1. අපොයි මේ ටික කියවද්දී මගේ කටට කෙළ උනලත් ඉවරයි...
      බිලිං මතක ත් සෑහෙන්න තියෙනවා ඔය ගෙදර කුස්සියේ වංගෙඩිය උඩ...
      මතක දේවල් ලියල තියන්න...කවද හරි ළමයෙක්ට හරි කියවන්න දෙන්න පුළුවන් :)

      Delete
  8. අපේ හාමිනේ අද උදෙත් කිව්වා කාලෙකින් අඹ කෑවෙ නෑ...පකියගෙ කඩේටවත් යන්ට ඕන කියලා.. අද ඉතින් ගියාම පැය බාගයක් අඹ තෝරයි :-)

    ReplyDelete
    Replies
    1. පැය භාගයක්?! හාමිනේ ඇඳුම් ගන්න ගිහාම පැය කීයක් තොරනවද? :D

      Delete
  9. මටත් නම් හුඟක් ඇඹුල් ජාති නම් ආස නැහැ . අපේ දිහා මට දොළ දුක ඇතැයි සිතා කට්ටිය ගෙනත් දීපු ඇඹුල් කෑවේ අනික් එක්කෙනා ..මගේ දිව වැඩිය බර පැණිරස පැත්තට .හැබැයි අමු අඹ දිවුල් ඇඹරැල්ල ගැන මිහිරි මතක නම් එමටයි ..අපි ඔව්වට ආස කෑමට තියෙන ආසාවට වඩා ඒ ඔස්සේ මැවෙන මතක රසයන්ට ..ගම ගැන මටත් රසබර මතක ගොඩයි. ජිවිතයේ විශාල කොටසක් ..

    ReplyDelete
    Replies
    1. අපේ එක්කෙනාට නම් ඇඹුල් පෙන්නන්න බෑ ...
      ඒක ඇත්ත කියල මටත් හිතෙනවා...ජීවිතේ කියන්නේ ඇඹුල්, පැණි, තිත්ත, ලුණු රස එකතුවක් නේ. හැම මොහොතක්ම එක එක රස. ඒත් අපි කොච්චර ආස උනත් අපි විඳින ඒ මොහොත අපිට අල්ලලා තියා ගන්න බෑ. ඉතින් අපි ඒ මොහොත එක්කල බැඳුනු මොකක් හරි රස කට වහ වැටෙනවා.

      Delete
  10. මොකද දන්නේ නෑ නිරෝට ඇඹුල් ජාති මතක් වෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔයා හිතන්නේ මොකක් නිසා කියලද? :P

      මම නම් හිතන්නේ ජාන නිසා. මොකද මේක මට උපන්දා ඉඳන් තියෙන ආසාවක් :D :D

      Delete

Post a Comment