Pages

Thursday, November 24, 2016

ගිගුරුම් සහිත ඇදුම කුණාටු!

සඳුදා මෙල්බන් නුවර අපිට රස්නේ දවසක්. දවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 යි. හැබැයි හවස් වෙනකොට කුණාටුවක් එනවා කියල කාලගුණෙන් කියලා තිබුනේ. 
එදා මම වැඩ ඉවර වෙලා යන ගමන් පුස්තකාලයට ගොඩ වැදුනේ කියවන්න නවකතාවක් ගන්න. එතකොට හවස 5.30 ට විතර. පොත අරන් වාහනේට නගින්න ඇවිදන් එනකොට දූවිලි හුළඟක් හමාගෙන ගියා සැරට. පොද වැහෙන්න අරං. ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ මම...ඇත්තටම කුණාටුව එන එකට සතුටෙන් හිටියේ. මොකද එළියේ හෝ ගාල වහින කොට ගෙයි සැප පුටුවක වාඩි වෙලා උණු තේ බිබී මම පුස්තකාලෙන් ගත්ත පොත කියවන්න යි මගේ ප්ලෑන් එක තිබුනේ.

ගෙදර ගිහින් රෑ 8 විතර වෙනකොට පොඩ්ඩක් උගුර රිදෙන ගතියක් දැනුණා. අවුලක් නෑ - සැරට පරිප්පු හොද්දක් එක්ක ඉඳි ආප්ප මුලකට වැඩේ දුන්නා. 
ප.ව 9:  වේලිච්ච කැස්සක් පටන් ගත්තා. ඊට සතියකට කලින් සෙම හැදිලා හොඳ උනා විතරයි. ආයෙත් මොන වදයක් ද මේ කැස්ස කියලා හිතෙන බැන බැන ටීවී බල බලා හිටියා. උගුර රිදෙන එකයි කැස්සයි එන්න එන්න වැඩිවෙනවා... 

ප.ව 10:  මහත්තයා මී පැණි, ඉඟුරු එක්ක තේ හදලා දුන්නා... ඒකටත් අඩුවක් නැහැ! 

ප.ව 10.30 :  නිදාගන්න ගියා. ඇල උනාම කැස්ස තවත් වැඩි වගේ. ඒ උනාට පස්සෙන්දා ට වැඩට යන්න තියෙන නිසා නිදා ගන්න ලොකු ගේමක් දුන්නා.

මධ්‍යම රාත්‍රිය: නින්ද යන්නෙම නැහැ. හුස්ම ඇදෙනවා. දැන් නම් මේ වීස් එකට ඇවිත් කියලා තේරුණා. පොඩි කාලේ හැදිලා තියෙන නිසා ලෙඩේ අඳුනනවා. ඒ උනාට අවුරුදු පහළොවකින් විතර හැදිලා නැති නිසා ගෙදර බෙහෙත් නැහැ. එහා පැත්තේ මහත්තයා නිදි. ඇහැරවන්න පව් නිසා හිමීට නැගිටලා ගිහින් වාඩි වෙලා හිටියා. 

පෙ.ව. 1: එක්ස්පෙරිමන්ට් කරලා හොයා ගත්තා වාඩි වෙලා ඉස්සරහට නැමිලා හිටියම කැස්ස අඩු වෙනවා කියලා.

පෙ.ව. 2: නැමිලා නෙමයි දැන් නම් ඔලුවෙන් හිටගත්තත් හරි යන්නේ නැහැ. එක දිගට කැස්ස. විනාඩියකට දෙතුන් පාරක් කහිනවා. වේලුණු කැස්ස නිසා උගුර රිදෙනවා. ඉස්සර වීස් එක හැදිලා තිබුනට මේ වගේ නවතින්නේ නැති කැස්සක් එක්ක නම් ජීවිතේට හැදිලා නෑ 

පෙ.ව 2.30: කහින සද්දෙට මහත්තය ඇහැරිලා. නැගිට්ටුවේ නැති එකට බැනුම් අහගත්තා. මේ වෙලාවේ දොස්තරලා ඉන්නේ කොහෙද කියලා එයා හොයන්න ගත්තා. මම ෆේස්බූක් ලොග් උනාම මෙල්බන් වල බර ගානකට ඇදුම හැදිලා කියලා දැක්කා.

පෙ.ව 3: මහත්තය ළඟම තියෙන පැය 24 ක්ලිනික් එකට කෝල් කරාම එතනින් කිව්වා හුස්ම ගන්න අමාරු වෙලා ලෙඩ්ඩු ගොඩක් ඇවිත් කියලා. ඒ නිසා අල්ලපු වටේ තියෙන ඔස්ටින් ඉස්පිරිතාලේ හදිසි අංශයට යන්න තීරණය කරා. ඕනි නෑ - දැන් හරියයි කිය කිය මම හිටියා (තව බැනුම් අසමින්)

පෙ.ව 3.30: ඉස්පිරිතාලේ හදිසි අංශයට ගියා. එතන මිනිස්සු ගොඩක්. හැමෝටම ඇදුම හැදිලා. ඒ වෙනකොට ඇදුම හැදිලා එතෙන්ට ලෙඩ්ඩු 200 විතර ආව කියලා නර්ස් කිව්වා.

පෙ.ව. 3.40: ටික වේලාවකින්ම මට වෙන්ටලින් පෆර් එකක් ගහපු ස්පේසර් එකක් ලැබුනා. එතන ඉඳන් 12 වතාවක් පෆ් කරගන්න කිව්වා. විනාඩි 20 කින් කතා කරන්නම් කිව්වා.

මට දුන්නෙත් මේ වගේ පෆර්/ස්පේසර් එකක් (img from Wikipedia)


පෙ.ව  4. 20: විනාඩි 20ක් කිව්වට දැන් තමා ආයෙත් මාව බැලුවේ. වෙන්ටලින් බලේට කැස්ස සැහෙන්න අඩු වෙලා. ඇඟිලි යන්තමට වෙවුලනවා - ඒක වෙන්ටලින් අතුරු ප්‍රතිපලයක් (වෙන්ටලින් මගේ පරණ යාලුවෙක්. එයාගේ හැසිරීම් රටා මට මතකයි). ඒ උනාට තවම පොඩ්ඩක් වීස් එක තියෙන නිසා මට ඇතුලෙන් ඉඳන් තවත් 24 පාරක් පෆර් එක ගන්න කිව්වා.

පෙ.ව 5.15: එහා ඇඳේ චීන වගේ ටිකක් වයසක් ගෑණු කෙනෙක්. එයාට ඉංග්‍රීසි බැහැ. අමාරු කියන්නේ දුවට. දුව ඉංග්‍රීසියෙන් දොස්තරට කියනවා. එයාට පෆර්/ස්පේසර් එපා කියලත්, ඒ වෙනුවට නෙබියුලයිස් කරන්න කියලත් කියනවා. නෙබියුලයිස් වලට වඩා පෆර්/ස්පේසර් හොඳයි කියලා දොස්තර කියනවා.

පෙ.ව 5.45: අපොයි මට නම් දැන් හොඳ ගණන් කියලා එක දොස්තර කෙනෙක් කියනවා ඇහුනා. අනේ මට කෝපි එකක් ගෙනත් දෙන්න කියලා තව දොස්තර කෙනෙක් කීවා.

පෙ. ව 6.15: දැන් 36 පාරක් පෆර් එක අරන්. මගේ දොස්තර ඇවිත් ප්‍රෙෂර්, හාට් බීට්, ඔක්සිජන් අනම් මනම් ටික බැලුවා. ඔක්සිජන් 100% දොස්තරට හරි සතුටුයි. දැන් ඔයා යන්න කියලා මට කියලා මහත්තයට කීවා ඔයත් ගිහින් නිදාගන්න කියල. මුකුත් ප්‍රශ්න අහන්ඩ තියෙනවද කියලා මගෙන් ඇහුවා. මම ඇහුවා මේ පෆර්/ස්පෙසර් එක මට ගෙදර ගෙනියන්නද කියලා. දොස්තර හිනා වෙලා නැතුව ඉතින් කිව්වා.

පෙ.ව 6. 25: ගෙදර. වැඩට යන්නත් ඕනේ ලොක්කෙක් එනවා කිව්ව නිසා. එයා එන්නේ හවස 3.30 ට. මම එද්දී පරක්කු වෙනවා කියලා ඔෆිස් එකට මැසේජ් එකක් දාල මම නිදා ගන්න ගියා.

මේ නොවැම්බර් 21 ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති උනු 'thunderstorm asthma' හෙවත් 'අකුණු කුණාටු' ඇදුම රෝගය නිසා මිනිස්සු දාස් ගානක් අසනීප උනා. මේ වෙනකොට 4 දෙනෙක් මිය ගිහින්. ගිලන් රථ වලට තිබුණු ඉල්ලුම නිසා වික්ටෝරියා ගිලන් රථ සේවයට සඳුදා රාත්‍රියේ ගිලන් රථ මදි වුනු බවයි කියන්නේ. සමහර රජයේ රෝහල් වලට ආ ඇදුම රෝගීන් නිසා වෙන්ටලින්/ස්පේසර් බෙදා දෙන්න මදි වෙලාත් තියෙනවා.

මෙතෙන්දි වෙන්නේ, තෘණ පරාග පෙනහලු තුලට යෑම නිසා ඇතිවෙන අසාත්මිකතාවය නිසා හැදෙන ඇදුම රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් තෘණ පරාග ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න ලොකු වැඩියි. ඒවා නාස් කුහරයේ රැඳෙනවා. නමුත් අකුණු කුණාටු ඇතිවෙන කොට, පරිසරයේ තියෙන තෘණ පරාග තෙතමනය උරාගෙන කුඩා කැබලි වලට පිපිරී යනවා. මෙන්න මේවාට  ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න පුළුවන්. ඉතින් ඒ පරාග කොටස් අති විශාල ගණනක් මිනිස්සු දාස් ගානකගේ පෙනහලු තුලට ගිය නිසා තමයි එදා එක විට මහා ඇදුම වසංගතයක් ඇති උනේ (ඇදුම බෝ වෙන්නේ නැහැ).


කොහොම නමුත් මම ඉගෙන ගත්ත පාඩම තමයි පරාග ගහණ වසන්ත/ගිම්හාන කාලෙට වෙන්ටලින්(ඇදුම බෙහෙත්) ළඟ තියා ගන්න එක නුවණට හුරුයි කියන එක.

Friday, November 4, 2016

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි.

මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ.

ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ.

මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. 
හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන්න/නිවන්න, ගෙදරට හොරු ඇවිත් නම් පොලිසියට දැනුම් දෙන්න, තනියම ගෙදර ඉන්න කොට අසනීප උනොත් රෝහලට දැනුම් දෙන්න, ඔයාගේ සෞඛ්‍ය තත්වය බලන්න, මහත්තයා තනියම චොකලට් කෑවද බලන්න වගේ නොයෙකුත් දේවල්.
මේ වගේ තාක්ෂණයක් ගොඩක් වැදගත් වෙන්නේ තනියම ඉන්න වයසක කට්ටිය, ආබාධිත අය වගේ එදිනෙදා වැඩ කරගන්න පොඩි උදව්වක් ඕනෙ අයට. විශේෂයෙන්ම වැඩිවෙන වයෝවෘද්ධ වැඩිහිටි ප්‍රතිශතය ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රශ්නයක්. එයාලගේ තියෙන ලොකු බයක් තමයි තනියම ගෙදර ඉන්න කොට වැටුනොත්, අසනීප උනොත් කව්ද බලන්නේ කියන එක.

වැඩේ තියෙන්නේ තමන්ගේ ගෙදර මෙහෙම එකක් හයි කරන කොට කාට උනත් විජිකිච්චාවක් එනවා, මේක එකතු කරන දත්ත කොහාටද යන්න, කාටද මෙව්වා බලන්ඩ පුළුවන් කියලා. ඒ වගේම අපි ගොඩක් දෙනෙක්ට 'ගෙදර' කියන්නේ අපිට ඕනෑ විදියට නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් ගෙදර අපි කන බොන ඇවිදින ඒවා 'මොනිටර්' කරනව කියන කොට ගොඩක් දෙනෙක්ට පුද්ගලිකත්වය ගැන ලොකු ප්‍රශ්න එනවා.

අනිත් කාරණේ තමා, ගෙදරක හයි කරන්ඩ සුපිරි කෘතීම බුද්ධියක් හදන එක නෙමෙයි වැඩේ. වැඩි දෙනෙකුට දරන්න පුළුවන් මුදලකට ප්‍රයෝජනවත් සේවාවක් දෙන්ඩ පුළුවන් පද්ධතියක් හදන එක!

ඉතින් ඔන්න ඔය ආශ්‍රිතයෙන් තමයි මගේ පර්යෙෂණය තියෙන්නේ. 

අපි දැනට පලවෙනි අදියරේ හදල තියෙන පද්ධතිය 'ටෙස්ට්' කරන්ඩ නම් මේක ගෙවල් කිහිපයක හයි කරල අපේ 'කෘතීම බුද්ධිය' හරියට වැඩ කරනවද, සහ ඒකට මිනිස්සු කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියල බලන්න ඕනෑ.

ඉතින් මේ  වගේ මිනිස්සු කණ්ඩායම් එකතු කරගෙන කරන පර්යේෂණ වලට විශ්ව විද්‍යාල වලින් අර කලින් කිව්ව 'ආචාර ධර්ම අවසරය' අරගන්නම වෙනවා. 

එහෙම අවසරයක් ගන්නේ පර්යේෂණයේ තුන් ගොල්ලකගේ ආරක්ෂාව සලකා යි. මේ තුන් ගොල්ල තමා:
 - පර්යේෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිස්සු 
-  පර්යේෂණය කරන කණ්ඩායම, සහ 
- අදාළ විශ්ව විද්‍යාලය.

මේ තුන් ගොල්ලටන්ටම මේ ව්‍යාපෘතියෙන් හානියක් වෙන්නේ නැතැයි කියලා (හෝ යම් අනතුරු වෙන්න ඉඩ තියෙනවා නම් ඒවා වලක්වා ගන්න හරි ඒවාට මුහුණ දෙන්න තියෙන සැලැස්ම) අපි පෙන්නුවොත් විතරයි අපිට මේ පර්යේෂණ කරන්ඩ විශ්ව විද්‍යාලය අවසර දෙන්නේ.

උදාහරනයකට අපේ මෘදුකාංග පද්ධතිය ගෙදරක සවි කරලා, හදිසියේ පද්ධතිය වැඩ කරන්නේ නැති උනොත් මොකද වෙන්නේ? ඒකෙන් දෙන පණිවිඩ නිසා ඒ ගෙදර මිනිස්සුන්ට මානසික ආතතියක් එන්න ඉඩ තියෙනවද? අපේ පද්ධතිය මොන වගේ දත්ත ද ගබඩා කරන්නේ, වගේ ගොඩක් දේවල් ගැන සවිස්තරාත්මකව ලියලා විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවට බාර දෙන්න ඕනේ.

හොඳ වෙලාවට මගේ පර්යේෂණය වර්ග වෙලා තිබුනේ 'අඩු අවදානම්' පර්යේෂණයක් විදියට (කුඩා ළමයින්, ගර්භනී කාන්තාවන් වගේ කොටස් එක්ක කරන පර්යේෂණ නම් කෙලින්ම 'වැඩි අවදානම්' වර්ගයට යන්නේ). 
ඒ නිසා සති 4 ඇතුළත පර්යේෂණය අනුමතිය ලැබුණා!

http://cdn.gelestatic.it/deejay/www/2016/03/enhanced-buzz-30651-1456442904-5.jpg

පිටු ගානක් දිගට ලියලා මේ අනුමැතිය ගන්ඩ සැහෙන්න මහන්සි වෙන්න උනා. මහන්සි උනත්, පර්යේෂණ සැලැස්මේ තිබුණු යම් අඩුපාඩු අපිට පෙනුනේ මේක ලියද්දි. ඉතින් අනුමැතිය ලැබුණු ඊයේ, අපේ විද්‍යාගාරයේ කණ්ඩායමට සෑහෙන්න සතුටු දිනයක් උනා!

කාලෙකින් හොඳට අව්ව පායපු දවසක් උනු ඊයේ, අපි ඒක සමරුවේ එළියේ තණ බිස්සේ වාඩි වෙලා පැඩ්ල් පොප් පෙට්ටියකට වැඩේ දෙමින්!!