Pages

Thursday, November 5, 2015

කිරි ලුණු රසයිද?

මෙල්බන් තුරඟ තරඟ නිසා දිග සති අන්තයක් ලැබුනා. අපි ඒ නිවාඩුවට වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසර පැත්තකට ගියා. ඒ පැත්තේ තියෙනවා විල්සන්ස් ප්‍රොම් කියන රක්ෂිත වනෝද්‍යානය. නැවතුනේ කිරි ගොවිපොළක. අක්කර 1140 ක්.

ඒකෙ අයිතිකාරි හරිම ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි, අවුරුදු 60 ක විතර ඕස්ට්‍රේලියානු ගැමි කාන්තාවක්. 

ඇය කිව්වේ ඈ ඒ වගේ ගොවිපොළකම ඉපදිලා ජීවිතේම පිටිසර ගත කල බවත්, නගරෙට යන්න කිසි කැමැත්තක් නැති බවත්. එයා ට දූ ල තුනයි එක පුතයි. ළමයි හතර දෙනාටම ඒ වගේ විසාල ගොවි පොළවල් හතරක්. ඒ හැම එකක්ම බැංකු ණය අරං බිංදුවෙන් පටන් ගත් ඒවා. ඇගේ ගොවිපොලත් සැමියා එක්ක පටන් අරන් තියෙන්නේ අක්කර 100 න්...

එයාම ඉදිරිපත් වෙලා අපිව එයාගේ වත්තෙයි ගොවිපොලෙයි එක්කන් ගියා. 
වත්තේ ඇවිදින ගමන් පලතුරු කඩ කඩා කන්නට දුන්නා. ගෙදර එනකොට කලින්දා දාපු බිත්තරත්, එවෙලේම කපපු එළවලුත්, එයා ගේ 'හෝම් මේඩ්' රුබාබ් ෂැම්පේන් බෝතලේකුත් තෑගී දුන්නා. ඇත්තටම තව මොනවා හරි ඕනෙද කියලත් පෙරැත්ත කරමින් ඇහුවත්, ඇයගේ ත්‍යාගශීලී ගුණය exploit කරන්න අපිට හිතුනේ නැහැ.

මේ හැම දේකින්ම මට පෙනුනේ ඈ මහන්සි වෙලා වැඩ කරන, කාරුණික කාන්තාවක් විදියට.

ඒ උනත්... කිරි ගොවිපොළේ එළදෙනුන් ගැන නම් ඇහුවේ දුක හිතෙන කතාවක්. 
අපි බලන් හිටියා එළදෙනුන් පේලියට ඇවිත් කිරි පොම්ප තියෙන කැරකෙන වේදිකාවට නගින හැටි.


උන්ගේ තන බුරුල්ල අසාමාන්‍ය විදියට ලොකුයි. අයිතිකාර කාන්තාවම කිව්වේ ඒ කිරි එළදෙනුන් උපරිම කාර්යක්ෂමතාවෙන් කිරි දෙන්නටම හෝමෝන, බෙහෙත්, එහෙම දීල හදල තියෙන බව. අච්චර අසාමාන්‍ය ලොකු තන බුරුල්ලක් තියෙන්නේ ඒ නිසාලු. ඉතින් එහෙම නිසා උන්ගේ ඇඟේ 'බැලන්ස්' එක නැති වෙලා උන් ඉක්මනට දිරාපත් වෙලා මැරෙනවා ලු.

ඊ ළඟට ඇඟ හිරි වැටෙන කතාව උන්ට ඉපදෙන වහු පැටව් ගැන.
පැටියා පිරිමි නම් ඌ ව තියන් ඉන්නේ නෑ ලු...ඒ මොකද උන්ගෙන් ගොවිපොළට ලාභ ලැබෙන්නේ නැති නිසා. ඉතින් උන්ව ඉක්මනටම මසට මරණ බවයි  දැනගන්නට ලැබුනේ.

ගැහැණු වහු පැටවූ ගාලක් ළඟට ත් අපි ගියා. සති 1-2 ඉඳන් පැටවූ එතන හිටියා. උන්ට අම්මා ගෙන් කිරි උරා බොන්න දෙන්නේ නැහැ. උන්ගේ කූඩු වල බෝතල් හයි කරලා තියෙනවා. ඒවාන් තමයි උන් කිරි බොන්නේ.


අයිතිකාර කාන්තාව මෙහෙම කිව්වා :
"මෙයාල තව ටිකක් ලොකු උනාම අපි මුන්ව තණ පිට්ටනියට නිදහස් කරනවා. එදාට මෙයාල දූවන හැටි බලන්න ඕනේ! අම්මෝ හරී වේගෙන් එතකොට තණ පිට්ටනියට දුවන්නේ"

මේ අසරණ සත්තු ජීවිත කාලෙම හිත් පිත් නැති 'කිරි මැෂින්' ටිකක් වෙලා කිරි දීලා දීලා මැරිලා යනවා. 

අපි මේ රස කර කර බොන්නේ නැවුම් කිරි ද? කඳුළු ද? කියලා මට හිතුනා.


ප ලි:
තුරඟ තරඟ වලින් පස්සේ හැමදාම මිය ගිය අසුන් ගැන දැන ගන්නට ලැබෙනවා. මේ සැරෙත් එහෙම වෙලා කියලා දැක්කා. මිනිස්සුන්ගේ ඕනැ එපාකම් වලට කතා කරන්න බැරි සත්තු මැරෙනවා. කොහෙත් තැලෙන්නේ දුබලයා තමයි. 


ප ප ලි: 
මේ සමහර ගැහැණු වහු පැටවූ චීනේට විකුණන බවත් කිව්වා. මතක් උනේ අංකල් ටොම්ස් කැබින් පොත. ඒකෙ ඉන්න සමහර වහල්ලු ත් හොඳට කන්න දීල හොඳ ගානකට විකුනනවා. සමහර වෙලාවට පවුලේ තාත්තා එක්කෙනෙක්ට, අම්මා තව එක්කෙනෙක්ට, ළමයා තවත් එක්කෙනෙක්ට විකුනනවා.