Pages

Friday, January 31, 2014

අන්තවාදය, සංඛ්‍යානය සහ බ්ලොග්


මිනිස්සු වෙලාවකට හරිම අන්තවාදීයි. හැබැයි පුදුම දේ කියන්නේ තමන්ගේ අන්තවාදය නොපෙනී අනිත් අයගේ අන්තවාදය ගැන උඩ පනින එක.
හැම ප්‍රශ්නයකම දෙපැත්තක් නෙමෙයි පැති හත අටක් උනත් තියෙන්න පුළුවන්.
අර සිංදුවක් තියෙන්නේ 'එක මකුණයි ළමයෝ කන්නේ- ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ' කියලා. ඕවා සිංදුවට කිව්වට මිනිස්සු වැඩ කරන්ඩ ගියාම ඒවා කැලේ.
ඔන්න X කෙල්ලෙක්ට හම්බුවෙනවා සල්ලාල කොල්ලෙක්. කොල්ලා කෙල්ලට හොරෙන් තව කෙල්ලෝ හත අටක් එක්කත් සම්බන්ධකම් තියාගන්නවා. ඉතිං ඒවා කෙල්ලට අහු උනාම කොල්ලව අත ඇරලා නිකං ඉන්නේ නැතුව මුළු පිරිමි සංහතියම සල්ලාලයෝ කියලා කෑ ගහන්ඩ ගන්නවා.
ඔන්න තව Y කොල්ලෙක්ට කපටි කෙල්ලෙක් හම්බු වෙනවා. කෙල්ල කොල්ලගෙන් පුළුවන් තරම් මාල වළලු ඇඳුම් එහෙම කඩා වඩා ගෙන අන්තිමට වෙන සල්ලිකාරයෙක්ව කසාද බඳිනවා. ඉතිං ඒ කොල්ලත් හිත හදාගෙන නිකං ඉන්නේ නැතුව මුළු ගෑණු සංහතියම වංචාකාරියෝ කියලා උඩ පනින්ඩ ගන්නවා.

දැන් මේ X සහ Y දෙන්නටම තියෙන්නේ 'උමං දැක්ම'. අපි උමඟක් ඇතුලෙන් යද්දී ඉස්සරහින් උමං කටේ තියෙන පොඩි වෘත්තාකාර පෙදෙසක් විතරයි පෙනෙන්නේ. එතකොට හිතන්න උමං කට ඉස්සරහින් තියෙන්නේ ලස්සන මල් පඳුරක් කියලා. හැබැයි වටේට තියෙන්නේ ජරා කුණු වළවල්. උමඟ ඇතුළේ ඉඳන් බලන කෙනාට පේන්නේ මල් ටික විතරයි. වටේ තියෙන කුණු පේන්නේ නැහැ. ඉතිං හිතනවා හරි ශෝක් මාර සිරා කියලා.


ඒ වගේ දෙයක් අහන් ඉන්න මෝඩයෝ ටිකත් ඊට පස්සේ කුලප්පු වෙනවා.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා මිනිස්සු කිව්වට ඒකත් කලින් කියමන වගේ ගණනකට ගන්න එකක් නෙමෙයි.
තමන් අත්විඳින එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් පදනම් කරගෙන 'ලේබල්' නිර්මාණය කරගන්න එක මෝඩ වගේම භයානක දෙයක්.
දැන් අර උඩ X කෙල්ලට එක කොල්ලෙක්ව පදනම් කරගෙන කොල්ලෝ හැමෝටම සල්ලාල ලේබලේ ගහන්ඩ අයිතියක් තියෙනවද? නැහැ.
හරි අපි හිතමු X ගේ යෙහෙළියෝ දෙන්නෙක්ට ත් ඒ හා සමාන අත්දැකීම් ලැබුණා කියලා. එතකොට X කෑ ගහන්නේ  මට  විතරක් නෙමෙයි මගේ යාළුවෝ හැමෝටමත් මෙහෙමයි- ඒ නිසා කොල්ලෝ බහුතරය සල්ලාලයෝ කියලා. ඒ උනාට ඒකත් නිවැරදි ක්‍රම වේදයක්ද?
නැහැ. ඇයි?
X සහ ඇයගේ යෙහෙළියන්ගේ පෙම්වතුන් කියන්නේ ඉතාම විශාල කුලකයක ඉතාම කුඩා නියැදියක්. ඒ කියන්නේ නොගිනිය හැකි තරම්. 'කොල්ලෝ බහුතරය' කියන යෙදුම පාවිච්චි කරන්න නම් ඉස්සෙල්ලා නියැඳිය විශාල කරලා බලන්ඩ ඕනේ.
එහෙනම් හිතන්න Z විශ්ව විද්‍යාලයේ සමීක්ෂණයක් කෙරෙනවා කොල්ලන්ගේ සල්ලාලත්වය පිළිබඳ. ඒකෙන් එම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න හැම කොල්ලම අධ්‍යනය කරලා බැලුවම දත්තයක් ලැබෙනවා ඉන් 60% ට පෙම්වතියො  එක්කෙනෙක්ට වඩා වැඩියෙන් ඉන්නවා කියලා.
ඔන්න දැන් X ට කියන්න පුළුවන්ද කොල්ලෝ බහුතරය සල්ලාලයෝ කියලා?
ඒත් බැහැ.
ඔන්න මෙහෙම දෙයක් නම් කියන්න පුළුවනි.
"Z විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කොල්ලන් 60% කට පෙම්වතියන් එක් අයෙකුට වඩා සිටී"

සංඛ්‍යානය ගැන අවභෝධයක් තියෙනවා නම් මේක ඉතාම සරලයි.


මහ ලොකුවට බුද්ධ දේශනාව ගැන කෑ ගැහුවට දැන් අපි ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් ගස් ගල් වලට වැන්ද  කාලෙමයි. එකම වෙනස ඒ කාලේ වැන්ද ගස් ගල් වෙනුවට දැන් අපි පිළිම වලට වඳිනවා. බුදු හාමුදුරුවෝ කියල තියෙනවා බියෙන් තැතිගත් මිනිස්සු මේ විදියට හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඇත්තටම මිනිස්සු ගොඩක් වෙලාවට ඉන්නේ මාර භයකින්. ඇස් ඇරන් හිටියම යතාර්තය පෙනෙන නිසා දාගන්නවා අමුතු අමුතු කණ්නාඩි. එතකොට තමන්ට කැමති විදියට ෆැන්ටසියක ජීවත් වෙන්ඩ පුළුවන්. හැබැයි මේ ෆැන්ටසිය දෙදරන්න ගන්නකොට මේ මිනිස්සු පුදුම විදිහට කුපිත වෙනවා. බ්ලොග් වල ලියන එකත් එහෙම ෆැන්ටසි එකක් තහවුරු කර ගැනීමක්. තමන්ගේ ෆැන්ටසි එකට විරුද්ධ අදහසක් ආව හැටියේ සමහරු කුපිත වෙන හැටියෙන් ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්වය ගැන අදහසක් ගන්ඩ පුළුවන්.

වෙලාවකට මට හිතෙනවා බ්ලොග් අධ්‍යනනය කරලා කවුරුත් රිසර්ච් කරන්නේ නැතිද කියලා.

Saturday, January 18, 2014

ආශ්චර්යය!


ජවනිකා අංක එක: ISLTS (International Sinhala Language Testing System)

විශාල ශාලාවක සුද්දන් දෙතුන් සීයක් වාඩිවී සිටිති. අතරින් පතර චීන සහ ඉන්දියානු සම්භවයක් ඇති යයි සිතෙන අයද පෙනේ.
ශාලාවේ උඩම ඇති දැන්වීමේ "අන්තර්ජාතික සිංහල භාෂා පරීක්ෂණ විභාගය" යයිද ඊට යටින් කුඩාවට ඉංග්‍රීසියෙන් ISLTS යයිද සඳහන් වේ. 
විභාගය ඇරඹීමට ප්‍රථම බියපත් මුහුණින් සිටිනා සුද්දන් සහ සුද්දියන් කිහිප දෙනෙක් අතර ඇතිවන සංවාදයකි මේ:
"මේ පාර Listening ටෙස්ට් එකට මොන විදියේ ඒවා ඒවිද දන්නේ නැහැ නේද?  මට නම් ඒක තමයි අමාරුම... මුන් සිංහලෙන් කච බච ගාගෙන කතා කරනකොට අපිට තේරෙන්නේ නෑනේ මොනා කියනවද කියල..."
"මට නම් බය තියෙන්නේ Reading ටෙස්ට් එකට. ගිය පාර අර මොකද්ද 'ලිහිණි දේශය' ද මොකද්ද පොතකින් poem එකක් ඇවිත් තියෙනවා. ඒකෙ බර වචන කියෝගන්නත් බැහැලු"
"ඒ උනාට මචං මට නම් හැමදාම කෙල වෙන්නේ Writing ටෙස්ට් එකෙන්. මගේ spelling mistakes වැඩියි කියල සිංහල කෝස් එකේ සර් කිව්වා. මුන්ගේ න යනු ත යනු ලය නු මහා තොගයක්නේ මචන්. මොන පිස්සු බාසාවක්ද මන්දා බං. අපේ ඉංග්‍රීසි වගේ ලේසි නෑ මේ මගුල."

"මට බය තියෙන්නේ Speaking ටෙස්ට් එක ගැන අනේ.. අර විනාඩි දෙකක් කතා කරන්න කියනවනේ. මහ අමුතු මාතෘකාලු දෙන්නේ. මගේ යාලුවෙක්ට ඇවිත් තියෙන්නේ 'යල සහ මහ කන්න අතර වෙනස' ගැන කතා කරන්න..."
"නෑහ්! මොකද්ද යාල කන්න කියන්නේ?" 
"කනවා නම්  කෑම ජාතියක් වෙන්න ඇති නේද? යාලුව හිතල තියෙන්නේ එහෙමයි. එයා කතා කරල තියෙන්නේ කෑම ජාති ගැන...."
"නෑ නෑ ඔය යාල කියන්නේ ලංකාවේ තියෙන පාක් එකක්. ඔය මාතෘකාව ෂුවර් එකටම කෑම ගැන නෙමෙයි සත්තු ගැන..."

"අනේ මන්ද බං...මම මේ කරන්නේ දා හතර වෙනි පාරට. මුං මේකෙන් හොඳට හම්බුකරනවා. ලංකාව දුවන්නේ ISLTS වලින් හම්බු කරන සල්ලි වලින්ද කොහෙද" 
"මොනව කරන්නද...කොහොම හරි ලංකාවේ PR එක ගන්ඩ එපැයි"
"මං මචන් ඇත්තටම මුලින් බැලුවේ මුන් කාටහරි පොඩි ගතමන්ට් එකක් දීල හොරට ලකුණු ගන්න. කොහෙද...මේ ලංකාවේ මිනිස්සු නීතියට වැඩනේ. පගාව දීල වැඩ කර ගන්න බෑ"



***

විභාගය පටන් ගැනේ.
ශාලාවේ ඇති ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පටිගත කර ඇති හඬක් නැගේ.
"මේ ඇරඹෙන්නේ සිංහල සවන්දීමේ පරීක්ෂණය යි. ප්‍රශ්න එකේ සිට දහය දක්වා පිලිතුරු ලිවිය යුත්තේ සිංහල කතා කරන්නන් දෙදෙනෙකු අතර ඇතිවන දුරකථන සංවාදයක් ඇසුරෙන්. මේ සංවාදය එක වරක් පමණක් ඔබට අසන්නට ලැබෙන අතර, සවන්දෙන අතරතුලම ඔබ ප්‍රශ්න වලට පිළිතුරු ලිවිය යුතු වේ......

<සංවාදය ධාවනය කෙරේ>
'ආයුබෝවන්...මේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය ද?'
'ඔව්...සුභ උදෑසනක් මහත්මයා! මොකද්ද කෙරෙන්න ඕනෑ? '
'මට මේ මගේ බාහිර උපාධි ප්‍රථිපල බලාගන්නයි ඕනේ'
'සුළු දෙයක්...කරුණාකරලා මේ මහත්මයාගේ සම්පුර්ණ නම කියන්න බලන්න'
'තණමල්විල ආරච්චිලාගේ බ්‍රහ්මදත්ත දේවානම්පියතිස්ස ඥාණසිංහ'

<සුද්දන් ප්‍රශ්න පත්‍රය දෙස බලති.>
පළවෙනි ප්‍රශ්නය - මෙම සංවාදයේ සඳහන් වන පරිදි තමාගේ විභාග ප්‍රතිපල දැන ගැනීමට අවශ්‍ය වී ඇති තැනැත්තාගේ සම්පුර්ණ නම ලියන්න.

<ශාලාවේ සුද්දන් සියයට පනහක් කලන්තය දමනු පෙනේ> 


ජවනිකා අංක දෙක: පූස් පාට් 

කොළඹ නගරයේ තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන කතාබහකි- 
"මේ ඔයා කොහොමද අච්චර ලේසියෙන් ඇමරිකාවට යන්න වීසා ගත්තේ?"
"මට තියෙන්නේ ලංකාවේ පාස් පෝට් එකක්නේ මෙයා...ඒ හින්දා මට on arrival වීසා දෙනවා ලෝකේ ඕනේම රටකට."
"ෂාහ්!... එහෙමද? මමත් මේ වැඩකට නැති ඕස්ට්‍රේලියන් පාස්පෝට් එක වෙනුවට පුළුවන් ඉක්මනට ලංකාවේ සිටිසන්ශිප් එක ගන්නේ ඕනේ...."
"ඔව් අනේ...ඔයා මෙහෙ ස්ටඩී කරන්න ආව එකේ කොහොම හරි මෙහෙ PR අරන් සිටිසන්ශිප් එකත් ගන්න...ඔස්ට්‍රේලියාවට වඩා මෙහෙ කොච්චර ඇඩ්වාන්ස් ද අනේ..."


ජවනිකා අංක තුන: පාවෙන ඩොලර් 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුදු තරුණ තරුණියන් කිහිප දෙනෙක් අතර ඇතිවන සංවාදයකි - 
"ඕගොල්ලෝ මේ සෙමෙස්ටර් එකේ කෝස් ෆීස් ගෙව්වද?"
"නෑනේ... මේ දවස් වල ශ්‍රී ලන්කන් රුපී එක මාර විදියට නැගල. ඩොලර් වලින් ගෙවන අපිට මාර අමාරුයි."
"හ්ම්ම්.... අනේ මන්ද ලන්කන් රුපී එකක් අපේ ඩොලර් සීයක්... අනික මෙහෙ living expenses වලටත් සැහෙන්න ගානක් යනවනේ...අපේ අම්මල එහෙ ඩොලර්, යුරෝ වලින් හම්බ කරලා අපිට මෙහෙට සල්ලි එවන්නේ කොච්චර අමාරුවෙන්ද? ඒ අතින් බැලුවම ලංකාවේ ඉපදුනා නම් අපි කොච්චර ලකී ද නේද?"

මේ අතර මේ පිරිස අතරට ප්‍රීතියෙන් දිව ගෙන ආවේ ඕස්ට්‍රේලියානු තරුණියකි.
"මේ මේ දන්නවද? බැලුවද අද ලන්කන් ඉමිග්රේෂන් සයිට් එක? ඔන්න අපේ මේ කෝස් එකට ලකුණු විස්සක්ම දෙනවලු අනේ PR එකට !!"
මේ පුවතින් සක්වනක් ප්‍රීතියෙන් පිනා ගිය විදේශීය තරුණ කැළ මහ හඬින් ප්‍රීති ඝෝෂා පවත්වන්නට පටන් ගත්තෝය.

අහෝ ඛේදයකි! ඒ හඬට තිගැස්සුණු මම දවල් නින්දෙන් දඩ බඩ ගා නැගිට ගත්තෙමි. බෝට්ටු නතර කිරීමට ශ්‍රී ලංකාවෙන් සහයෝගය දක්වන බවට පොරොන්දු වී ඇති බව කියන ටෝනි ඇබොට් ගේ හඬක් රූපවාහිනියෙන් ඇසුනි.



PS: මේ පහළ වීඩියෝ වේ තියෙන්නෙත් තවත් එවැනි ආශ්චර්යයකි. :D මෙහි ප්‍රධාන ඉදිරිපත් කරන්නා වන නසීම් හුසේන් ලාංකීය සම්භවයක් ඇත්තෙකි.





Wednesday, January 15, 2014

ලේබල් නැති ලෝකයක්

අපේ ගෙදර කිරි පිටි, සීනි, තේ කොළ, කෝපි ඔය හැම දේටම ලේබල් ගහල තිබුණා කාලයක්.
ඒ උනාට පණ ගැහෙන ප්‍රාණීන්ට එහෙම ලේබල් අලවන්න මම කැමති නැහැ.
ලේබල් එකක් ගැහුවම ඒක හරි හෝ වැරදි හරි ඒ ලේබල් එකෙන් ඒ මනුස්සයා රාමු වෙනවා. ඒත් මනුස්සකම කියන්නේ එහෙම රාමුවකට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

එක දෙක වසරවලදී ඉඳන් ම ළමයි ලේබල් උනා "හොඳ ළමයි" සහ "නරක ළමයි" විදිහට. ගෙදර වැඩ කරන, රචනා ලියන ගණන් හදන ළමයි "හොඳයි". ප්‍රින්සිපල් පංතියට ආවම මිස් අඳුන්වල දෙන්නේ ඒ "හොඳ" ළමයි.

ටික ටික ලොකු වෙනකොට ගෑණු පිරිමි ලේබල් වැදෙනවා. ගෑණු ළමයි ඔහොම ඉඳගන්නවද? ගෑණු ළමයෙක් නේද, ඔහොම හයියෙන් හිනා වෙනවද? ගෑණු ළමයෙක් උනාම ගෙදර දොර වැඩ කරන්න එපැයි!
සැර වැර ගොඩයි. (පිරිමි ළමයින්ගේ පැත්තෙන් ලියන්න මම දන්නේ නැහැ. එයාලටත් එහෙම දේවල් ඇති.)

වයස අනුව විතරක් නෙවෙයි, එක එක සමාජ පද්ධති අනුව, සංස්කෘති අනුව ලේබල් මහ ගොඩක් හැදෙනවා.

ආදරේටත් ලේබල් තියෙනවා.
පහු ගිය දවසක අහන්න ලැබුන ලංකාවේ සමරිසි තරුණියන් දෙන්නෙක් ගෙවල් වලින් වෙන්වෙලා කොහේදෝ දුර පළාතක සම්ප්‍රදායික යුවළක් හැටියට ඉන්න විට පොලිසියෙන් අල්ලන් ගිහින් කියලා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම් හරි හමුදා සේවයේ හිටියා කියලා තමයි කියැවුනේ. පොලිසියෙන් දෙන්නව අරං යන කොට, පිරිමියෙක් හැටියට බාහිර සමාජෙට පෙනී හිටි තරුණිය බැගෑපත් වෙලා එයාගේ පෙම්වතිය වෙනුවෙන් - "අනේ මාව පොලිසි ගෙනිච්චට කමක් නැහැ- මෙයාව ගෙනියන්න එපා" කියලා.
ඒත් කාටවත් කරදරයක් නැතිව එයාලගේ පාඩුවේ හිටි මේ අහිංසකයෝ දෙන්නගේ ආදරේ වැරදියි කියල ලේබල් වැදිලා.

මේ වීඩියෝ එක දැක්කේ අද.




 කවද නම් අර තරුණියෝ දෙන්නට ලස්සනට පෝරුවක් උඩට නගින්න හැකි වේවිද කියලා මම හිතනවා...



පසුව ලියමි:
සියලු ආශීර්වාද මැද සමරපු සමරිසි විවාහයක ෆොටෝ එකතුවක් මෙතන දැක්කා:
http://www.stephgrantphotography.com/blog/shannon-seema-indian-lesbian-wedding-los-angeles-ca/
මේ ඉන්නෙත් ආදරෙන් බැඳුනු දෙන්නෙක් නේද?... මොනවා උනත් තමන්ගේ තාත්තා අතින් පෝරුවට නග්ගගන්න, අම්මට සුදු රෙදි කච්චිය දෙන්න, නෑදෑයෝ ඉස්සරහ තමන්ගේ ආදරවන්තයා/ තිය එක්ක පෝරුවෙන් බහින්න හැම කෙනෙක්ම ආසයි...අර වගේ තරුණ තරුණියෝත් එහෙමයි... කොච්චර අසරණද ඉතිං එයාල....

Saturday, January 11, 2014

ජනාධිපති සෙල්ලම



දැන් අපි නිතරම රටක් පාලනය කරන හැටි ගැන කතා කරනවනේ. 
ඕකට මෙන්න මෙහෙම නීති ගේන්න ඕනේ. අහවල් ඇමතිව අස් කරන්න ඕනේ. මිනිස්සුන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ. මිනිස්සු රට පනින එක නවත්තන්න ඕනේ. විදේශ ආයෝජන වැඩි කරන්න ඕනේ. දුෂණ වංචා නැති කරන්න ඕනේ. අරකයි මේකයි රටේ නැති ඒවා. :D
ඔන්න ඉතින් මටත් ළඟදී ඉඳන් චාන්ස් එකක් ආව රටක් පාලනය කරන්න!


පහුගිය සති කීපෙ අහම්බෙන් හම්බුණ ගේම් එකක්. ඒකෙ නම තමයි 'ට්‍රොපිකෝ' (Tropico). මට ගේම් ගහන එක ගොඩක්ම දිරවන නෙවෙයි. ඒත් ආස ගේම්ස් කීපයක් තියෙනවා, Age of Empires සහ Spore වගේ. ඒවා නම් රැයක් දවාලක් නැතුව ගහපු ඒවා. සාමාන්‍යෙන් මම කැමති real time strategy ගේම්ස් වලට. 
මේ ට්‍රොපිකෝ කියන්නේ ගොඩක්ම අලුත් එකක් නෙමෙයි. ඒ උනාට ඒක සෙල්ලම් කරන එක සෑහෙන්න ආතල්.


ඒකෙ හැටියට තමුන් උෂ්ණ කලාපික දිවයිනක ජනාධිපති. (නම ට්‍රොපිකෝ කියන්නේ ඒ නිසයි. Tropical island එකක්). 

රට අභ්‍යන්තරයේ ඉන්න එක එක බලවේග බැලන්ස් කරගෙන (ඒ කියන්නේ දේශප්‍රේමියෝ, ධනපතියෝ, සමාජවාදියෝ, පරිසර හිතකාමියෝ, අරුන් මුන් ...), විදේශ බලවේගත් ශේප් කරන් (ඇමරිකාවයි, රුසියාවයි, චීනෙයි, යුරෝපෙයි, මැද පෙරදිගයි ) රටේ ආර්ථිකය නග්ගගෙන බලයේත් ඉන්න එක තමයි ගේම් එක.

මිනිස්සුන්ව සතුටු කරන්න කියල ඕනේ නම් ගොඩක් 'සහන' දෙන්න පුළුවන්. උදාහරණෙකට නොමිලේ නිවාස, බදු සහන වගේ 'වෙල්ෆෙයා' වැඩ. හැබැයි ඉතිං ඒවා දෙනකොට භාණ්ඩාගාරේ හිස් වෙනවා. ඊට පස්සේ රට දුවන්න වෙන්නේ පිටරට වලින් ණය අරන්. ණය බර ගොඩක් උණොත් විදේශ බලවේග කචල් දාන්න ගන්නවා.


ගේම් එක දිනන්න නම්  මොනවා හරි කරලා බලයේ ඉන්න ඕනේ. ඉතින් ඒකට එක එක ක්‍රම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නියම කාලෙට ඡන්ද තියල ත් පුළුවන්.  නැත්තම් ඒකාධිපතියෙක් වෙන්නත් පුළුවන්. ඡන්දේ තියන්නේ නැතුව ඉන්නත් පුළුවන්. තියල හොර ඡන්ද දාන්නත් පුළුවන්.

හැබැයි රටේ මිනිස්සු න්ගේ 'Happiness Level' එක පහතට ගියොත් කේස්. එතකොට රටවැසියෝ කැරළි ගහන්න ගන්නවා. එතකොට එක්කෝ කරලිකාරයෝන්ගේ ඉල්ලීම් බලල ඒ ප්‍රශ්න විසඳන එක එක ක්‍රමයක්. නැත්නම් කෙලින්ම ලොකු හමුදාවක් හදාගෙන මාෂල් ලෝ දාල කැරැල්ල මර්ධනය කරන්න ඕනේ. එහෙමත් නැත්නම් කැරළි නායකයොන්ට පගා දීල කැරැල්ල ලත් තැනම ලොප් කරන්න පුළුවන්.
ඔය ඔක්කොම කරන අස්සේ තමන්ගේ ස්විස් බෑන්ක් එකවුන්ට් එකටත් කීය කීය හරි දාගන්න පුළුවනි.


මේක ගැන මම හබී එක්ක කියද්දී එයා නම් කිව්වේ 
"ෂුවර් එකටම ඕක ******* තුමා ගහනව ඇති" කියලයි! :D